නව වසරේ පාර්ලිමේන්තුව රැස්වීමට දින දෙයි

නව වසරේ පාර්ලිමේන්තුව රැස්වීමට දින දෙයි
Spread the love
  • ජනවාරි 11,12 සහ 13 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වේ
  • ජනවාරි 13 සම්පූර්ණ දිනය අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝකය පළ කිරීමට වෙන් කෙරේ

2022 වසර සදහා  පාර්ලිමේන්තු රැස්වීම් ලබන ජනවාරි 11 වන දින ආරම්භ කිරීමට  ඊයේ (09) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මේ අනුව දෙසැම්බර් 10 වැනිදා අයවැය විවාදය අවසන් වීමෙන් පසු ලබන ජනවාරි 11,12 සහ 13 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමට මෙහිදී තීරණය වී ඇත.

ජනවාරි 11 වැනිදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පෙ.ව 10.00 – පෙ.ව 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. ඉන් අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට ‍ගැනීමට නියමිතය. තවද මෙදින ආණ්ඩුවේ කටයුතුවලින් අනතුරුව  ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්ය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමෙන් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට යොමු කිරීමට නියමිත බවද මහලේකම්වරයා පැවසීය.

ජනවාරි 12 වැනිදා පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත. අනතුරුව පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන), පුද්ගලනාශක බිම්බෝම්බ තහනම් කිරීම, අධිකරණ සංවිධාන (සංශෝධන)  , සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) යන පනත් කෙටුම්පත් (දෙවැනිවර කියවීම්) විවාදයට ගෙන සම්මත කර ගැනීමට නියමිතය.

ජනවාරි 11 සහ 12 දින දෙකේම ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා ද ප.ව 4.50 සිට ප.ව 5.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවක් විවාදයට ගැනීම සදහාද වෙන් කර ඇත.

මේ අතර ජනවාරි 13 වන ‍දින පෙ.ව 10.00 සිට ප.ව 4.30 දක්වා  අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කිරීමට ද මෙහිදී තීරණයවූ බව මහලේකම්වරයා පැවසීය.