‘නිව්මෝනියා රෝගීන්ගේ’ විශාල ඉහළ යාමක් ගැන අනතුරු ඇගයීමක් !

‘නිව්මෝනියා රෝගීන්ගේ’ විශාල ඉහළ යාමක් ගැන අනතුරු ඇගයීමක් !
Spread the love

කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගියහොත් රට තුළ ඕනෑම සෞඛ්‍ය පද්ධතියක ධාරිතාවද ඉහළ යා හැකි බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අනතුරු අගවයි.

අද (20) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා මේ අනතුරු ඇගයීම කළේය.

“ කොවිඩ්-19 ආසාදිත රෝගීන් සංඛ්‍යාව ඉතා වැඩිවුවහොත් නිව්මෝනියා තත්ත්වය සහිත රෝගීන් ඉතා වැඩිවිය හැකියි. එමඟින් ඔක්සිජන් අවශ්‍යතාවය, දැඩි සත්කාර ඒකකවල අවශ්‍යතාවය හා විශේෂයෙන් ම ශ්වසන උපකරණවල අවශ්‍යතාවය ඉතා වැඩිවෙන්න පුළුවන්. ඉදිරියේ දී මේ රෝග තත්ත්වය විශාල වශයෙන් පැතිර ගියහොත් ඕනෑම සෞඛ්‍ය පද්ධතියක තිබෙන උපරිම ධාරිතාවය ඉක්මවා යන්න පුළුවන්.“

මේ අතර ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ අධ්‍යක්‍ෂ, කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා හෙළිකළේ කොවිඩ් නියුමෝනියා තත්වයට පත්වූ රෝගීන් 1000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට දිවයින පුරා රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

ශ්‍රී ලංකාව අද වන විට ඉතා අවදානම් සහගත තීරණාත්මක අවස්ථාවක පසුවන බව විජේවික්‍රම මහතා මේ අවස්ථාවේදී කොවිඩ් මර්දනයට ගත් හැකි සියලු ක්‍රියාමාර්ග නොගත්තොත් ඉදිරි සති තුනක හතරක කාලය තුළ ඉතා දරුණු ව්‍යසනකාරී තත්වයක් මතු විය හැකි බව ද සඳහන් කළේය.

‘‘කොවිඩ් නියුමෝනියාව ඇතිවන අයගෙන් මියයන්නේ ඉතා අඩු සංඛ්‍යාවක්. රෝහල්ගත වන විට නිව්මෝනියාව උත්සන්න වී තිබීම, වයස අවුරුදු 60ට වැඩිවීම හා වෙනත් රෝගාබාධ තිබීම වැනි අවස්ථාවලදී රෝගියා මියයාමට අවස්ථාවක් තිබෙනවා. මේ වයිරසය පහසුවෙන් මැරෙන වයිරසයක් බව අප මතක තබා ගත යුතුයි. නිතර දෑත් පිරිසිඳු කිරීම, නිසි ලෙස මුහුණු ආවරණ පැළඳීම, දුරස්ථභාවය පවත්වාගැනීම, ජනතාව ගැවසෙන තැන් මගහැරීම මගින් ඉන් ආරක්ෂා විය හැකියි‘‘