නීතිපතිවරයා ලෙස සංජය රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය

නීතිපතිවරයා ලෙස සංජය රාජරත්නම් පත් කිරීමට පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය
Spread the love

ශ්‍රී ලංකාවේ මීලඟ නීතිපතිවරයා ලෙස වැඩ බලන සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතාව පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කර තිබූ යෝජනාවට පාර්ලිමේන්තු සභාව සිය එකඟතාවය පළ කළ බව බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

මෙම තීරණය ගනු ලැබුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රමුඛත්වයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු සභාවේදීය.

මෙම රැස්වීමට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ගරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ධීවර කටයුතු පිළිබඳ අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් යන මහත්වරු සහභාගී වූහ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජික ලෙස ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා නැවත පත් කිරීම සඳහා එවා තිබූ නිර්දේශයටද පාර්ලිමේන්තු සභාවේ එකඟතාවය හිමිවූ බවද මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එයට අමතරව අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජික පුරප්පාඩුව සඳහා නිර්දේශව පැවති එච්. ජයන්ත ශාන්ත කුමාර වික්‍රමරත්න මහතාගේ නම පාර්ලිමේන්තු සභාව විසින් යෝජනා කර තිබේ.

එමෙන්ම හානිපූරණය සඳහා වන කාර්යාලයේ සාජික පුරප්පාඩුව සඳහා විශ්‍රාමික මේජර් ජනරාල් ඩබ්ලිව්.පී.පී. ප්‍රනාන්දු මහතා පත් කිරීමටද  පාර්ලිමේන්තු සභාව යෝජනා කළ බව මහ ලේකම්වරයා කීය.