පරිපූරක වෛද්‍ය සේවා ‘වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‘

පරිපූරක වෛද්‍ය සේවා ‘වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්‘
Spread the love

සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් සඳහා සමානව නොසැලකීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් විසඳුම් ලබා දීම අතිහිටුවා ඇති ගැටළු 13කට ජුනි මස 30 වැනි දිනට ප්‍රථම විසඳුම් ලබා නොදෙන්නේ නම් එම දිනයෙන් පසුව එළඹෙන ඕනෑම දිනයක නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් සෞඛ්‍ය ආමාත්‍යවරියට කියයි.

එම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය ගරු සෞඛ්‍ය අමාත්‍යතුමිය සෞඛ්‍ය අමාත්‍යාංශය “සුවසිරිපාය” කොළඹ 10

පරිපූරක වෛද්‍ය සේවාවට අදාල පැන නැඟී ඇති පහත දීර්ඝකාලීන ගැටළු වලට මෙතෙක් සාධනීය විසඳුම් ලබා දීම පමා කිරීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වලට එළඹීම

සෞඛ්‍ය සේවාවේ වෘත්තීන් සඳහා සමානව නොසැලකීමේ ප්‍රතිපත්තිය හේතුවෙන් විසඳුම් ලබා දීම අතිහිටුවා ඇති පහත ගැටළු පිළිබඳව ඔබගේ අවධානය යොමු කරවන අතරම ඊට අදාල 2019.08.07 දින ගරු සෞඛ්‍ය ඇතුතිතුමා සමඟ පැවති සාකච්ඡාවට අදාල සාකච්ජා සටහන පිළිබඳවද ඔබගේ අවධානය යොමු කරවමි.

  1.  අත්තනෝමතික ලෙස ඉවත් කල වසර 12 පළමු ශ්‍රේණියට උසස් වීම නැවත ලබාදීම.
  2. වැටුප් චක්‍රලේඛ හරහා සූක්ෂම ලෙසින් අහිමි කල මාණ්ඩලික තත්වය ලබා දීම.
  3. අතිකාල රේට් අගය 1/80 ක් ලෙස ලබා දීම හා ඇමතුම්/නිදර්ශක දීමනාව යාවත්කාලීන කිරීම.
  4. හෙද, පරිපූරක වෛද්‍ය උපාධිධාරීන් සඳහා ගැළපෙන වැටුප් තලය ලබා දීම හා නිකුත් කර ඇති වැටුප් චක්‍රලේඛයේ අඩුපාඩු නිවැරදි කිරීම.
  5.  වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාල රනුග්ගේ කම්ටු නිර්දේශ ක්‍රියාත්මක කිරීම.
  6. රු. 3000 DAT දීමනාව රු 10000 සිට 15000 දක්වා යාවත්කාලීන කිරීම.
  7. ගෙවනු ලබන අනතුරු දීමනාව සියළු පරිපූරක වෛද්‍ය නිළධාරීට සමානව ලබාදීම.
  8.  කාර්ය සාධනය හා අධ්‍යාපන කුසලතාවය මත උසස් වීම් ලබා දීමේ ක්‍රමය ඇති කිරීම.
  9.  පුරප්පාඩු සහිත ස්ථාන වල අධිකාරී පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සඳහා සේවා දිගු ලබාදීම.
  10. පරිපූරක වෛද්‍ය නිළධාරීන් වෙනුවෙන් පරියේෂණ දීමනාව ලබා දීම.
  11. අප සේවාවන්ට අදාලව යෝජිත අධ්‍යක්ෂ හා නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරු ඇති කිරීම.
  12.  අනුමත නිළධාරී සංඛ්‍යාව යාවත්කාලීන කිරීම.
  13.  පරිපූරක වෛද්‍ය සේවාවට අදාල සේවා ව්‍යවස්ථාව සම්මත කිරීම.

ඒ අනූව උක්ත ඉල්ලීම් සම්බන්ධයෙන් ජුනි මස 30 වැනි දිනට ප්‍රථම සාකච්ඡාමය අවස්ථාවක් හෝ විසඳුම් ලබා නොදෙන්නේ නම් එම දිනයෙන් පසුව එළඹෙන ඕනෑම දිනයක නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන බව ඉතා කණගාටුවෙන් දැනුම් දෙමු.  

තවද මෙම සමාන ඉල්ලීම් වෘත්තීන් සමඟ තනි තනිව සාකච්ඡා කොට විවිධ තීරීණ ගැනීමේ ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ඉහල බලධාරීන් විසින් අනුගමනය කිරීම හේතුවෙන් අප වෘත්තිකයන් බරපතල නොසන්සුන්තාවයකට පත් වී ඇති බවත්, එය හිතාමතාම සිදුකරන ලද්දක් බැවිනුත් මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ඇති කිරීම පිළිබඳ වගකීම අදාල අසමාන හා කල්ලිවාදී තීරණ ගනු ලබමින් සිටින පාර්ශ්වයන් විසින් භාරගතයුතු බවද අවධාරණය කරමු.