පාපන්දු සම්මේලනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව COPA හමුවට

පාපන්දු සම්මේලනය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව COPA හමුවට
Spread the love

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) ලබන අගෝස්තු 03 වැනිදා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පාර්ලිමේන්තුව හමුවට කැඳවා ඇති අතර, රජයේ ගිණුම් කාරක සභාව (කෝපා කමිටුව) වෙත පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව අගෝස්තු 04 වැනිදා කැඳවා තිබේ.   

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, රජයේ ගිණුම් කාරක සභාව සහ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා ඇතුළු කාර සභා රැස්වීම් 13ක් අගෝස්තු පළමු සතිය තුළදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

කෝප් කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර, රජයේ ගිණුම් කාරක සභාව මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් රැස්වේ. සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය විසින් සිදු කරනු ලබන වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය පිළිබඳ විගණකාධිපතිවරයාගේ විශේෂ වාර්තාව කෝපා කමිටුව විසින් අගෝස්තු 03 වැනිදා විමර්ශනයට ලක් කරනු ඇත.

එයට අමතරව අගෝස්තු 03 වැනිදා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සභාපතිත්වයෙන්ද රැස්වනු ඇත.

ලබන අගෝස්තු 04 වැනිදා  ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ‍පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා ඇති අතර, එදිනම විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමටද කටයුතු සූදානම් කොට ඇති බව මහ ලේකම් දසනායක මහතා තවදුරටත් සඳහන් කළේය.

අගෝස්තු 05 වැනිදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රැස්වන අතර අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද එදින රැස්වේ. එයට අමතරව එදිනම ධීවර කටයතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වනු ඇත. එදිනම කාර්මික සංවර්ධන මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර සමූපකාර සංවර්ධන දේපාර්තමේන්තුව කෝපා කමිටුව වෙත කැඳවා තිබේ.

අගෝස්තු 06 වැනිදා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත ජාතික ඉතිරි කිරීමේ බැංකුව කැඳවා ඇති බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.