පාර්ලිමේන්තුව ලබන 21 සහ 22 පමණක් රැස්වේ

පාර්ලිමේන්තුව ලබන 21 සහ 22 පමණක් රැස්වේ
Spread the love

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සංශෝධන පනත්  කෙටුම්පත දෙවැනිවර කියැවීමේ විවාදය ලබන 22 වැනිදා පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) පස්වරුවේ පැවති  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් ලබන  සතියේ පාර්ලිමේන්තු රැස්වීම්  සැප්තැම්බර් 21 සහ 22 දෙදින පමණක් පැවැත්වීමට මෙහිදී තීරණය වූ බව ද මහලේකම්වරයා පැවසීය.

මේ අනුව ලබන 21 වන අගහරුවාදා දින පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව 11.00 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා  වෙන් කර ඇත.

පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්, වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝග 05 ක්, විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියෝග 06ක්, විදේශ විනිමය පනත යටතේ නියෝග ත්‍රිත්වයක්, විදේශ විනිමය පනත යටතේ නියමයක් සහ ආනයන සහ අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය.

ඉන්අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

සැප්තැම්බර් 22 වන බදාදා දින පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (සංශෝධන) පනත්  කෙටුම්පත (දෙවැනිවර කියැවීම) සහ වන සත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියෝග විවාදයට ගැනීමෙන් අනතුරුව සම්මත කරගැනීමට නියමිතය.

ඉන්අනතුරුව ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සදහා කාලය වෙන්කොට ඇති අතර ප.ව 4.50 සිට 5.30 දක්වා විපක්ෂය ගෙන එන යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතය.

තවද මීට ප්‍රථම සැප්තැම්බර් 27 වන සදුදා  සම්පූර්ණ දිනය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා  වෙන් කර තිබූ නමුත් පවතින කොවිඩ්  තත්ත්වය හේතුවෙන් එම ප්‍රශ්න සදහා විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස ඔක්තෝබර් 04 වන සදුදා දින වෙන් කිරීමට ද  මෙහිදී තීරණය වූ බව මහලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.