පාර්ලිමේන්තුව විසුරුවන බව කියා කොළඹ කොටස් වට්ටා ඇතැම්හු ලාබ උපයනවලු..! ජනපති රනිල් කියයි..!

පාර්ලිමේන්තුව විසුරුවන බව කියා කොළඹ කොටස් වට්ටා ඇතැම්හු ලාබ උපයනවලු..! ජනපති රනිල් කියයි..!
Spread the love

රජය විසින් පසුගිය දෙවසරක කාලය තුළ පමණක් නව නීති 75ක් සම්මත කර ගැනීමට කටයුතු කළ බවත්, ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති ක්‍රියාත්මක වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බවත් පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව නීති පද්ධතියක් සමඟ නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ගොඩනඟන බව ද අවධාරණය කළේය.

ආණ්ඩුව හොරු ආරක්ෂා කරන බවට ඇතැමුන් චෝදනා නැගුවද වත්මන් ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දුෂණ විරෝධය දේශපාලන සටන් පාඨයක් කර ගත් යුගය ඒ සමඟ නිමා වන බවද සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තෙල්දෙණිය නව අධිකරණ සංකීරණය විවෘත කිරීමේ අවස්ථාවට (15) එක් වෙමිනි.

රටක ස්ථාවරත්වය රැඳී පවතින්නේ නීතිය ක්‍රියාත්මක වීම මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් හිමි වන්නේ ද නීති පද්ධතියේ ක්‍රියාකාරිත්වය තුළ බව ද කියා සිටියේය.

තෙල්දෙණිය නගරයේ තිබූ පැරණි තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ වික්ටෝරියා ජලාශයට යට විය. අනතුරව තෙල්දෙණිය කරලියද්ද නව නගරයේ ඉදිකළ තෙල්දෙණිය අධිකරණ ගොඩනැඟිල්ල ද මීට කලකට පෙර පූර්ණ සංවර්ධනයකට ලක් කිරීම සඳහා කඩා ඉවත් කෙරිණි. මෙම ස්ථානයේම අධිකරණ අමාත්‍යාංශය විසින් මෙම නව අධිකරණ සංකිර්ණය ඉදිකර තිබේ.

තෙමහල් ගොඩනැඟිල්ලකින් සමන්විත මෙම තෙල්දෙණිය අධිකරණ සංකීර්ණය මහේස්ත්‍රාත් හා දිසා අධිකරණ මෙන්ම තවත් පහසුකම්වලින් යුක්ත වන අතර එමඟින් තෙල්දෙණිය, රංගල, උඩුදුම්බර, පල්ලේකැලේ, මැණික්හින්න, වත්තේගම හා පන්විල යන පොලිස් ස්ථානවල නඩු කටයුතු ආවරණ කරයි.

තෙල්දෙණිය අධිකරණය තෙල්දෙණිය නගරයේ තෙල්දෙණිය සමුපකාර බිමෙහි ගොඩනැඟිලි සංකීර්ණයක මෙතෙක් තාවකාලීකව පවත්වාගෙන ගිය අතර එම ස්ථානයේ පහසුකම් අවම වීමෙන් නඩු කටයුතු සඳහා පැමිණි මහජනතාවට දැඩි දුෂ්කරතාවකට මුහුණදීමට සිදු විය.

සමරු ඵලකය නිරාවරණය කර නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

තෙල්දෙණිය නීතිඥ සංගමය විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

නීතිඥයන් සමග සුහද කථා බහක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකට ද එක් විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

ශත වර්ෂයකට පමණ පසුව නීති ක්ෂේත්‍රයේ නව ප්‍රතිසංස්කරණ රැසක් අප සිදු කර තිබෙනවා. ඒ අනුව නීති 75ක් පමණ සම්මත කර ගැනීමට අප පසුගිය දෙවසර තුළ කටයුතු කළා. පැවති ඇතැම් පාර්ලිමේන්තු වසර 04ක්, 05ක් කටයුතු කළත් කිසිදා මෙවන් නීති ප්‍රමාණයක් සම්මත කරගෙන නැහැ. ආණ්ඩුවක් තිබෙන්නේ වැඩ කරන්න වගේම මන්ත්‍රීවරුන් ද නීති සම්පාදන කටයුතු සඳහා පාර්ලිමේන්තුවට පැමිණිය යුතුයි. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ මෙම නීති සම්මත කර ගනිමින් නව නීති පද්ධතියක් හඳුන්වා දීමට අප කටයුතු කර තිබෙනවා.

ඒ වගේම නීතියේ ප්‍රමාදය පිළිබඳ අපගේ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. යුක්තිය පසිඳලීම යථාර්ථයක් වීමට නම් කලට වේලාවට නීතිය ඉටු විය යුතුයි. එය අප ඉදිරියේ තිබෙන අභියෝගයක් බවද පැවසිය යුතුයි. නඩු ඇසීම කාර්යක්ෂමව සිදු කළ හැකි නම් තවත් නඩු ඉදිරිපත් වෙනවා.

රට තුළ නීතියේ ආධිපත්‍ය යළි තහවුරු කළයුතුයි. නීතිය අතට ගෙන දේපොළ විනාශ කර දැමීමට කටයුතු කරනවා නම් එතැන නීතියක් නැහැ. රටක ස්ථාවරත්වය රඳා පවතින්නේ නීතිය ක්‍රියාත්මක වීම මතයි. රටක් ලෙස පිළිගැනීමක් ලැබෙන්නේ ද යුක්තිය පසිඳලීම සිදුවන විට පමණයි. එසේ නොමැති නම් රටේ දියුණුවක් සිදු නොවන අතර ආයෝජන ද අපේක්ෂා කළ නොහැකියි. එම නීති පද්ධතිය අප අද රට තුළ ඇති කර තිබෙනවා.

ඒ වගේම මේ වන විට රට තුළ නව ආර්ථික පරිවර්තනයක් සිදු කරමින් තිබෙනවා. අප අපනයන පදනම් කරගත් ආර්ථිකයක් රට තුළ ඇති කරනවා. ඒ වෙනුවෙන් නීති ගණනාවක් ගෙන ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වී තිබෙනවා. ඉන් පළමු නීතිය වන මහ බැංකුව සඳහා වූ නීතිය මේ වන විට සම්මත වී තිබෙන අතර ඒ යටතේ මහ බැංකුවට ස්වාධීනත්වයක් ලැබී තිබෙනවා.

ඒ වගේම විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ පනත අප දැන් ඉදිරිපත් කර තිබෙනවා. විදුලිබල මණ්ඩලය දැඩිව අලාභ ලැබීම මෙරට ආර්ථිකය කඩා වැටීමට එක් හේතුවක් වුණා. එසේ නම් කාර්ක්ෂම විදුලිබල මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අප පියවර ගත යුතුයි. එයින් රජයේ අයිතියට කිසිඳු හානියක් සිදු නොවන බව ද කිවයුතුයි.

එසේම තවත් නීති කෙටුම්පත් තුනක් මේ වන විට රජය ඉදිරිපත් කර තිබෙන අතර ඒවා ලබන සඳුදා කැබිනට් මණ්ඩලයේ දී අනුමත කර ගැනීමට කටයුතු කරනවා. ඒ යටතේ එන ණය පාලනය කිරීම අප මේ වන විටත් සිදු කරගෙන තිබෙනවා. මෙතෙක් ජාතික ණය පාලනයක් සිදු වුණේ නැහැ. අපේ ණය අඩු කර ගැනීමට නම් ණය පාලනය කළ යුතුයි. 2035 – 2040 වන විට 75%ක් දක්වා ණය පාලනයක් සිදුකරගත යුතුව තිබෙනවා. ඒ අනුව මෙම ණය පාලන නීතිය අනුව රජයට කටයුතු කිරීමට සිදු වෙනවා.

ඒ වගේම රජයේ මුදල් පාලනය සිදු වුණේ මුදල් රෙගුලාසි අනුවයි. මෙම මුදල් රෙගුලාසි උල්ළංඝණය කිරීමට හැකියාව තිබුණා. ඒ වගේම චක්‍ර ලේඛ සංශෝධනය කිරීමට ද හැකියාව තිබුණා. ඒ අනුව මෙතෙක් රටේ මුදල් පාලනයක් සිදු වුණේ නැහැ. අද රජයට අයත් දේපොළ පිළිබඳ කිසිවෙක් දන්නේ නැහැ. ඒ නිසා රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම වෙනුවෙන් නීති ඉදිරිපත් කර තිබෙනවා. මෙම ක්‍රමය මුලින්ම ආරම්භ කළේ නවසිලන්තයයි. ඉන්පසුව එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාව වගේම ඉන්දියාවත් එය ක්‍රියාත්මක කර තිබෙනවා. එහි නවීනම නීතිය අප දැන් ඉදිරිපත් කර තිබෙනවා.

අප ආනයන පදනම් කරගත් ආර්ථිකයේ සිට අපනයන ආර්ථිකයකට යොමු විය යුතුයි. ඒ වෙනුවෙන් ඉදිරියේදී ආර්ථික පරිවර්තන නීති කෙටුම්පත ඉදිරිපත් කරනවා. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වු සියලු කොන්දේසි අප ක්‍රියාත්මක කර තිබෙනවා. එයින් ඉවත්වීමට අපට හැකියාවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා කඩ කළ බවට මින් පෙර මෙරටට චෝදනා එල්ල වුණා. නමුත් දැන් නීතියකින් එය ක්‍රියාත්මක වන නිසා එසේ කිරීමට හැකියාවක් නැහැ.

අප මේ සමඟ ඉදිරියට යා යුතුයි. නැත්නම් අප අපේක්ෂා කරන සහාය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් හිමිවන්නේ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජුනි මස පැවැත්වෙන රැස්වීමෙන් පසු මෙම නීති ගෙන ඒමට අපේක්ෂා කරනවා.‍

ඒ වගේම ආර්ථික පරිවර්තන නීතියේ මුලික පදනම ඇති කිරීමෙන් පසු ඊළග නීති ටික ගෙන ඒමටද අපේක්ෂා කරනවා. අප මේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් සමඟ එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසුවයි. ඒ වගේම මේ පිළිබඳ පුද්ගලික ණය කරුවන් සමඟ පවත්වන සාකච්ඡාද සාර්ථකව සිදු වෙනවා. ඇතැමුන් මෙම සාකච්ඡා අසාර්ථක බව කියනවා.

ඒ වගේම තවත් අය කියනවා පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා කියලා. මෙවන් ප්‍රකාශ සිදු කළ විට ඊළඟ දවසේ කොටස් වෙළෙඳපොළ කඩාගෙන වැටෙනවා. එවිට ඔවුන් කොටස් මිලදී ගන්නවා. එවන් තීරණයක් ගෙන නොමැති බවට ආණ්ඩුව ප්‍රකාශ කළ විට නැවත ඔවුන් වේදිකාවට නැගලා එයම ප්‍රකාශ කරනවා. මෙය දේශපාලන ප්‍රශ්නයක් නොවෙයි.

ඒ වගේම දුෂණය අපේ රටේ විශාල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අපට ණය ලබාදුන් රටවල් මේ පිළිබඳ අප සමඟ සාකච්ඡා කළා. අපි ඒ වෙනුවෙන් වැඩසටහනක් ඉදිරිපත් කළා. ඊට සංශෝධන එක් කර, එකඟතාව ප්‍රකාශ කිරීමෙන් පසු දැන් එම නව නීති ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ සඳහා වන ප්‍රධාන නීති 04ක් තිබෙනවා.

එහි පළමු වැන්න ලෙස අප 21 වන සංශෝධනය ඉදිරිපත් කළා. ඒ අනුව ඊට අදාළ කොමිසම ඇති කර තිබෙනවා. ඒ වගේම දූෂණ විරෝධී පනත 2023 වසරේ ගෙනැවිත් 2024 දී සංශෝධනය කළා.

ඒ වගේම පරිපාලන කටයුතුවලදී මුදල් වැය කිරීමේ දී සිදුවන දුෂණ නැවැත්වීමට පියවර ගෙන තිබෙනවා. ඒ සඳහා නීතියට වඩා දියුණු ක්‍රමවේදයක් අවශ්‍යයි. එම ක්‍රමවේදය සකස් කිරීමට අපට දැනුම නොතිබීම ප්‍රශ්නයක් බවට පත්ව තිබුණද ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට කරන ලද යෝජනාව අනුව සංශෝධනවලට යටත්ව රාජ්‍ය පරිපාලන විමර්ශන වාර්තාව සකස් කර තිබෙනවා.

ඒ වගේම අපරාධයකින් උපයාගත් දේපොළ පනත සකස් කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කරගෙන යනවා. ඒ අනුව දකුණු ආසියාවේ අලුත්ම නීති දැන් තිබෙන්නේ ශ්‍රි ලංකාවෙයි. මෙමඟින් දේශපාලනයේ වෙනසක් සිදු කරනවා. මෙතෙක් කල් දූෂණය දේශපාලන සටන් පාඨයක් බවට පත්ව තිබුණා. බලයට ඇවිත් මාස දෙකෙන් හොරු අල්ලනවා කියා කිවුවත් එය සිදු වන්නේ නැහැ.

ඒ වගේම ඇතැමුන් හොරු ආරක්ෂා කරන බවට ආණ්ඩුවට චෝදනා නගනවා. ඒ අනුව හොරු ආරක්ෂා කිරීමට පැමිණි බව කියන මේ ආණ්ඩුව හොරු අල්ලන නීති ගෙනවිත් තිබෙනවා. මෙම නීති ක්‍රියාත්මක කිරීමට පළපුරුද්දක් තිබිය යුතුයි. ඒ පළපුරුද්ද ලබා දීමට අවශ්‍ය පුහුණුව ලබා දිය යුතුයි. එම වැඩපිළිවෙළ අධිකරණ අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වැඩකටයුතු වෙනුවෙන් අපට සහාය වීමට ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය එකඟ වී තිබෙනවා.

ඒ අනුව මේ ආණ්ඩුව යටතේ පසුගිය දෙවසර තුළ අපි ප්‍රධාන කරුණු 03ක් ඉටු කර තිබෙනවා. යුක්ති පසිඳලීම මෙන්ම නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කර තිබෙනවා. අනෙක් පසින් අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් නීති සම්මත කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ වගේම දුෂණ විරෝධි නීති සම්මත කර ගනිමින් සිටිනවා. මේ කටයුතු වෙනුවෙන් සියලුදෙනාගේ සහයෝගය ලැබෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.