පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වේ

පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා රැස්වේ
Spread the love

පාර්ලිමේන්තු රැස්වීම් හෙට (22) සහ අනිද්දා (23) යන දිනවලදී පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

ඒ අනුව හෙට (22) දිනයේදී ශ්‍රී ලංකාවේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත සහ ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග විවාදයට ගෙන පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

එදින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න සඳහා පෙරවරු 10.00 සිට 11.00 දක්වා කාලය වෙන් කර ඇති අතර, ඉන්පසු පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබනු ඇත.

ඉන්පසු දිනය වන ජූනි 23 වැනිදා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යොජනාවක්ද, ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි 02ක් ද රජයේ අත්‍යවශ්‍ය වියදම් දැරීමට සහ කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමට ඉදිරිපත් කර ඇති පරිපූරක ඇස්තමේන්තුවද විවාදයට ගැනීමට නියමිත බව ධම්මික දසනායක මහතා පැවසීය.

එදින පෙරවරු 10.00 සිට පෙරවරු 11.00 දක්වා කාලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කෙරෙන අතර, පස්වරු 4.30 සිට පස්වරු 5.30 දක්වා විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගනු ලබන බව මහ ලේකම්වරයා සඳහන් කළේය.