‘පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය වෙබ් අඩවි අවහිර කරන්න‘ – අධිකරණයෙන් ඉල්ලීමක්

‘පාසල් ආරම්භ කරන තුරු හෝ අසභ්‍ය වෙබ් අඩවි අවහිර කරන්න‘ – අධිකරණයෙන් ඉල්ලීමක්
Spread the love

අවම වශයෙන් පාසල් ආරම්භ වන තුරුවත් ළමුන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම අවහිර කළ හැකි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස කොළඹ අතිරේක මහෛ්ස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

වර්තමානයේ පාසල් වසාදමා ඇති පසුබිමක අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා සිදුවන හෙයින් දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බව ද අබේවික්‍රම මහත්මිය සඳහන් කළාය.

මහේස්ත්‍රාත්වරියගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ළමා කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේ මේ පිළිබඳව විදුලි සංදේශ නියාමන කොමිසම සමග සාකච්ඡා කර සුදුසු වැඩපිළිවෙලක් සැකසීමට පියවර ගන්නා බවයි.

15 වියැති බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරිය ඒ බව පෙන්වා දුන්නාය.

ජංගම දුරකථන හෝ පරිගණක ළමුන් අතට පත්වීම වැළැක්විය නොහැකි බවද පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පෙන්වා දුන්නේ දෙමව්පියන් රාජකාරී සඳහා නිවසින් බැහැරව සිටින අවස්ථාවේ දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා මෙම උපකරණ පරිහරණය කරන බවත් මෙවැනි අවස්ථාවක දරුවන්ට පහසුවෙන්ම අසභ්‍ය වෙබ් අඩවි කරා පිවිසීමට හැකියාව තිබෙන බවයි.

බාලවයස්කාර දැරියක් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා දැන්වීම් පළ කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගන්නා ලද වෙබ් අඩවියක හිමිකරුට හා මූල්‍ය කළමනාකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන්ට එල්ලවී තිබෙන චෝදනාවේ බරපතළ භාවය සහ ඔවුන් ඇප මත මුදා හරිනු ලැබූවොත් මතුවිය හැකි මහජන කැළඹීම සැලකිල්ලට ගෙන ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද කීවාය. ඒ අනුව සැකකරුවන් විමර්ශන කටයුතු අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් නියෝග කළාය.

එමෙන්ම බාල වයස්කාර දැරියක් පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ගණිකා වෘත්තිය සඳහා යෙදවූ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති එම දැරියගේ මව ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කළාය.