පැල්මඩුල්ලේ ළිඳකින් මතු වූ කෝටි 2000ක වාසනාව !

පැල්මඩුල්ලේ ළිඳකින් මතු වූ කෝටි 2000ක වාසනාව !
Spread the love

ලොව විශාලතම ආරනූල් (star sapphire) පොකුර නිවසක පිටුපස මිදුලේ තිබී අහම්බයෙන් හමු වූ බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසීය.

වටිනාම මැණික් කුලය වන කොරනන්ඩම් කුලයට අයත් මෙම මැණික් පාෂාණයේ වටිනාකම රුපියල් කෝටි 2,000ක් වැඩි විය හැකි බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ලා නිල් පැහැය මිශ්‍ර එම පාෂාණය පැල්මඩුල්ල ප්‍රදේශයේ බලපත්‍ර සහිත පුද්ගලික පතලකින් මීට මාස අටකට පමණ පෙර හමුවී ඇතැයි කී සභාපතිවරයා එහි හිමිකම පතල් හිමිකරු සතු බව ද ප්‍රකාශ කළේය.

ආරනූල් යනු ලොව වටිනාකමින් වැඩි මැණික් වර්ගයක් බව කී සභාපතිවරයා මෙම මැණික් සමූහයේ සියයට 99.9ක්ම ආරනූල් වර්ගයේ මැණික්ගල් බව ද කීවේය

විශේෂඥයන් පවසන්නේ ලා නිල් පැහැයෙන් යුත් මෙම ගල ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන සියයක් හෙවත් ලංකා මුදලින් රුපියල් කෝටි 2000ක් පමණ වන බවයි.

මෙම පොකුරේ බර කිලෝග්‍රෑම් 510 ක් හෝ කැරට් මිලියන 2.5 ක් පමණ වන අතර එය “සෙරන්ඩිපිටි සෆායා (Serendipity Sapphire)” ලෙස නම් කර තිබේ.

World's largest star sapphire cluster

“ළිඳ හාරමින් සිටි පුද්ගලයා දුර්ලභ ගල් කීපයක් තියෙනවා කියලා අපට දැන්වූවා. පස්සේ අපිට මෙම දැවැන්ත ගල් වර්ගය හම්බුණා,” යැයි මෙහි හිමිකරු ගමගේ මහතා පැවසූ අතර ආරක්ෂක හේතූන් මත සම්පූර්ණ නම හෝ ස්ථානය ලබා දීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

තුන්වෙනි පරම්පරාවේ මැණික් ව්‍යාපාරිකයෙකු වන ගමගේ මෙම සොයා ගැනීම පිළිබඳ බලධාරීන් දැනුවත් කළ නමුත්, එය විශ්ලේෂණය කර සහතික කිරීමට පෙර මඩ හා වෙනත් අපද්‍රව්‍ය ඉවත් කිරීමට වසරකට වැඩි කාලයක් ගත වී තිබිණි.

පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී පොකුරෙන් සමහර ගල් වැටී ඇති අතර ඒවා උසස් තත්ත්වයේ ආරනූල් මැණික් ලෙස තහවුරු වූ බව ඔහු පැවසීය.

“මම මීට කලින් මේ තරම් විශාල පොකුරක් දැකලා නැහැ. මෙය මීට වසර මිලියන 400 කට පමණ කලින් හැදෙන්න ඇත්තේ,” යැයි සුප්‍රසිද්ධ මැණික් විද්‍යාඥයෙකු වන ආචාර්ය ගාමිණී සොයිසා මහතා පැවසීය.

මෙහි පිටත දියමන්ති (ක්‍රිස්ටල්) හැඩැති කැටයම් විශාල ප්‍රමාණයක් ඇති බවත්, බැලූබැල්මට එය සුදු පැහයට හුරු වුවත් කොරන්ඩම් විශේෂයට අයත් මැණකක් බවත් ලෙවුඩ මැණික් පිළිස්සීමේ සහ අපනයනය කිරීමේ විශේෂඥයෙක් ද වන පුන්සිරි තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් විශේෂඥයන් පෙන්වා දෙන්නේ පොකුරේ ඉහළ කැරට් අගයක් තිබුණද, එහි ඇති සියලුම ගල් උසස් තත්වයේ නොවිය හැකි බවය.

මෙම සොයා ගැනීම සිදු වූයේ, වසංගතය නිසා පැන වූ සීමාවන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තය පාඩු ලබමින් තිබෙන සමයක දීය.

කර්මාන්තයේ නියුතු පිරිස බලාපොරොත්තු වන්නේ “සෙරන්ඩිපිටි ස්ටෝන්” ජාත්‍යන්තර ගැනුම්කරුවන් සහ විශේෂඥයන්ගේ අවධානය දිනා ගැනීමය.

“මෙය විශේෂ ආරනූල් පොකුරක්. ඒ වගේම බොහෝ විට ලෝකයේ විශාලතම පොකුර වෙන්න පුළුවන්. ප්‍රමාණය සහ එහි වටිනාකම අනුව එය පුද්ගලික එකතුකරන්නන්ගේ හෝ කෞතුකාගාරවල ආකර්ෂණය දිනා ගනී යැයි අපි සිතනවා,” ශ්‍රී ලංකා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා වැඩි දුරටත් පැවසීය.