“පුස් ආණ්ඩු විරෝධය” ඇත්ත අර්බූදය අත හැර දැමීමක්

“පුස් ආණ්ඩු විරෝධය” ඇත්ත අර්බූදය අත හැර දැමීමක්
Spread the love

ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය” පනත් කෙටුම්පතට විරෝධය පෑමට එක් වූ ගුරු සංගම් ක්‍රියාකාරීන් ඇතුලු කණ්ඩායම් අත්අඩංගුවට ගනු ලැබ නීති විරෝධි ලෙස නිරෝධායනයට ලක් කර ඇත. 

ඒ අත් අඩංගුවට ගැනීම් වලට විරුද්ධව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකාරණයෙහි ගොනු කළහ. ජ.වි.පෙ විසින් වෘත්තීය සමිති හවුලක් නමින් පසුගිය ජූලි 12 වන සඳුදා අත් අඩංගුවට ගැනීමට එරෙහිව ලිප්ටන් වට රවුමේ විරෝධයක් පැවැත් වූහ. ගුරු සංගම් හා විදුහල්පති සංගම් විසින් අත්අඩංගුවට ගැනීම් වලට එරෙහිව ඉකුත් සඳුදා සිට “මාර්ග ගත” (On Line) ඉගැන්වීම් හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමග කෙරෙන සියලු “මාර්ග ගත” ගනුදෙනු අත්හිටුවන ලදී.

එළෙස උණුසුම්ව ඇති පසුබිමක මේ සටහන සඳහා පළමුව තැබිය යුතු ඉතාම කෙටි පූර්විකාව වන්නේ ස්ථාවර ආරක්ෂක සේවා පවත්වා ගන්නා හැම රටකම වාගේ ඒ සඳහා අවශ්‍ය යැයි තීන්දු කරන්නාවූ විවිධ පුහුණු කිරීම් සඳහා විශේෂ ආයතන පිහිටුවා නඩත්තු කරනු ලබන බවය. ඒවා බොහෝ විට ජාතික ආරක්ෂාව සඳහා යැයි ඉතා දියුණු හා නවීන සම්පත් සමගින් නිරන්තරව වර්ධනය කරනු ලැබේ. කවර නමකින් හැඳින් වූවත් එවැනි හමුදා පුහුණු ආයතනවල ඉතා දැඩි විනයක් සහ සුපරීක්ෂාවක් පවත්වා ගැනීමද සාමාන්‍ය තත්ත්වයකි. ඒ “අවශ්‍යතාව” වෙනම සාකච්ඡා කළ යුත්තකි. එහෙත් කොතලාවල ආරක්ෂක ඇකඩෙමිය ලෙස ඇරඹි, පසුව කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය බවට පත් කෙරුණු සහ දැන් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය ලෙසින් නම් කෙරෙන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති මේ පුහුණු විශ්ව විද්‍යාලය පිළිබඳ කතාව ඉන් ඔබ්බට ගොසින් තිබෙන්නකි.

ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලු කිරීම සඳහා ගැසට් පත්‍රය නිකුත්කර ඇත්තේ පසුගිය යහපාලන ආණ්ඩුව විසින් 2018 අප්‍රේල් 11 වන දිනය. ඔවුන්ට මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැකි වූයේ එයට කිසිවකු විරුද්ධවූ නිසා නොවේ. ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ අතර සීඝ්‍රයෙන් වර්ධනය වූ ගැටුම, ඒ වනවිට යහපාලන ආණ්ඩුව දෙබෑ කර තිබුණි. එනිසා වික්‍රමසිංහ ආණ්ඩුවට මෙවැනි පනත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමේ දැඩි අවිනිශ්චිතභවක් තිබිණ. 

යහපාලන ආණ්ඩුවේ එවැනි දේශපාලන අර්බූද නිසා පැත්තකින් තැබුණු මේ පනත් කෙටුම්පත වත්මන් ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂ විසින් අකුරක්වත් වෙනස් නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූයේ පසුගිය මාර්තු 26 වන දිනය. එබැවින් මේ පනත මගින් “අධ්‍යාපනය හමුදාකරණය කරනවා” යැයි සහ “නිදහස් අධ්‍යාපනය විනාශ කරනවා” යැයි අද කෑ ගසන සහ එදා යහපාලන ආණ්ඩුවේ හවුල් කරුවන් වූ රාජපක්ෂ විරොධී සියල්ලන් දැන සිටිය යුත්තේ මෙය “යහපාලන-රාජපක්ෂ” හවුල් ව්‍යාපෘතියක් වන හෙයින් ඔවුන්ද ඒ චෝදනා බාර ගත යුතු බව ය. 

“අධ්‍යාපනය හමුදාකරණය කරනවා” යැයි සහ “නිදහස් අධ්‍යාපනය අහෝසි කරනවා” යැයි යන චෝදනා දෙකට අදාලව ආරම්භයේදීම කිව යුත්තේ 1981 දී ජයවර්ධන ජනාධිපතිගේ කාලයේ මහජන මුදලින් ඇකඩෙමියක් ලෙස ආරම්භ කළ සහ දැන් එය “ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය” ලෙස ස්ථාපිත කිරීම දක්වා එහි විකාශනය ආණ්ඩුවල හා පක්ෂවල වෙනසක් නොමැතිව 1988 සිට රැගෙන එන්නක් බවය. ඒ පනත 1988 අංක 72 දරණ පනතින් සංශෝධනය කර උපාධි හා පශ්චාත් උපාධි ලබා දෙන ආයතනයක් බවට පත් කෙරුණේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට බාහිර ආයතනයක් වශයෙනි. 
නැවත කොතලාවල ආරක්ෂක ඇකඩෙමිය පනත සංශෝධනය කෙරුණේ රාජපක්ෂ යුගයේ 2007 අංක 50 දරණ පනතින් ය. එමගින් එය විශ්ව විද්‍යාලයක් බවට පත් කෙරිණ. එවිටද එය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතට පත් කරනු ලැබුවේ නැත. එහෙත් එයට උපාධි පිරිනැමිය හැකි විශ්ව විද්‍යාල තත්ත්වය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් පිරිනමනු ලැබිණ. පසුව සාමාන්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා මුදල් අය කරන උපාධි හා පශ්චාත් උපාධි පාඨමාලා විවෘත කරනු ලැබුණේ 2012 දීය. ඒ අවස්ථාවේ “අධ්‍යාපනය හමුදාකරණය කිරීමට” සහ “නිදහස් අධ්‍යාපනය අලෙවියට” කිසිවකුගේ විරෝධයක් නොතිබුණි.
ඒ සම්මතය මත “සයිටම්” වෛද්‍ය පීඨයට විරුද්ධ වූවන්ගේද පූර්ණ එකඟත්වය ඇතිව එහි ළමුන්ට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට ඉඩ සළසනු ලැබූයේ මුදලට ය. ඒ සඳහා 2018 ජූනියේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට සංශෝධනයක් ගෙනෙනු ලැබූයේ සයිටම් වෛද්‍ය පීඨය සම්බන්ධ අභියාචනාධිකරණයේ හා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු දෙකක් වූයෙනි.    
මේ යෝජිත පනතින් ඒ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට කෙරෙන වෙනස්කම් සැළකූ කල දැකිය හැක්කේ (1) ආරක්ෂක අමාත්‍යාංශයට අයත් එය එතෙක් පැවති ආකාරයටම 05 දෙනෙකුගෙන් පාලනය වූ මණ්ඩලයක් වෙනුවට 09 දෙනෙකුගෙන් පාලනය වන සභාවක් යටතට පත්කර ඇති බවය. (2) පැහැදිලි ව්‍යුහගත වීමක් නොවුනු එය සාම්ප්‍රදායික විශ්ව විද්‍යාල ව්‍යුහයක් සමගින් නවීකරණය කිරීමය. (3) මෙතෙක් එහි ව්‍යාප්තිය සඳහා නිශ්චිත නෛතික බලයක් නොමැතිව සිදු කෙරුණු (සූරියවැව දක්ෂිණ මණ්ඩපය, පශ්චාත් උපාධි ආයතනය පිහිටුවීම වැනි) කටයුතු වෙනුවෙන් නීතිමය අවසරයක් ලබා දීමය.   
මේ පනත් කෙටුම් පතෙහි 05(ඒ) වගන්තියට අනුව උපාධි, ඩිප්ලෝමා හා වෙනත් සහතික ලබා දිය හැක්කේ 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතේ 128 වන වගන්තියට යටත්ව පමණි. එහෙත් එහි විශ්ව විද්‍යාලයක තිබිය යුතු නිදහස් විසම්මුතිවාදී පරිසරයට ඉඩක් නොදෙන්නේය. තාර්කානුකූල දැනුමකට එහි ඉඩක් නැත. එහි ඇත්තේ ඉහළ විධානයන්ට යටත් කෙරෙන හමුදාමය විනයකි. එබැවින් ලබා දෙන උපාධි සහතික සහ එහි පවත්වා ගන්නා හමුදා විනය අතර ඇත්තේ බරපතල ප්‍රතිවිරෝධයකි. 
ඒ හා රජයේ විශ්ව විද්‍යාල වල ඇති ගුණාත්මක වෙනසක්ද නැත. රජයේ විශ්ව විද්‍යාල වල දැනුම සඳහාවන නිදහසක්, විසම්මුතික අභ්‍යාසයක් දැන් නැත. ඒවායේද දැන් ඇත්තේ උපාධි සහතිකය වෙනුවෙන් කට පාඩම් කිරීමේ සංස්කෘතියකි. වෙනස ඇත්තේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි ඇති විධානයන් මත සැකසෙන දැඩි විනය වෙනුවට රජයේ විශ්ව විද්‍යාල වල වගා වන නිවට පාලනයක් සමග වන අරාජිකත්වයෙහිය. නාගරික මැදපංතිකයින් විනය වෙනුවෙන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය වැනි පෞද්ගලික ආයතන තෝරා ගැනීමට කැමති වන්නේ රජයේ විශ්ව විද්‍යාලවල දෝරේ ගලන අරාජිකත්වය පිළිකුල් සහගත බැවිනි. 
ඒ කිසිවක් ගැන කතා නොවී ෆේස්බුක් විරෝධයන්හි මතු කෙරෙන්නේ පනත් කෙටුම්පතට අනුව මණ්ඩප, පීඨ, අධ්‍යන ආයතන සහ පාසල් ආදිය පිහිටුවීමෙන් නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමට ආණ්ඩුව පිඹුරු පත් අඳින බවය. ඒවාට අලුතින් පිඹුරු පත් අවශ්‍ය නැත. දැනටත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පිටතින් විශ්ව විද්‍යාල මට්ටමින් වන උපාධි පිරිනමන ස්වාධීන රජයේ ආයතන 05 ක් ඇත. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම නිල වශයෙන් පිළිගත් උපාධි අලෙවි කරන එවැනි පෞද්ගලික ආයතනද ඇත. එවැනි පිළිගැනීමක් නොමැති විදේශ උපාධි අලෙවි කරන පෞද්ගලික ආයතන ගණනාවක්ද ඇත. පනත් කෙටුම්පතේ 05(ච) වගන්තිය යටතේ යෝජනා කෙරෙන්නේ ඒ අයිතිය කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයට ලබා දීමය. 
පාසල් පිහිටුවීමද එවැනිම කතාවකි. පෞද්ගලික සමාගම් විසින් ලාභ සඳහා පවත්වා ගෙන යන ජාත්‍යන්තර පාසල් රට පුරා කොපමණ ඇති දැයි අධ්‍යාපන අමාත්‍යාංශයද නොදන්නවා විය යුතුය. ඒවායේ අය කිරීම් හා තත්ත්ව ප්‍රමිතීන් පිළිබඳ කිසිදු වගකීමක් රජයට නැත. නොමිලේ තිබිය යුතු නිදහස් අධ්‍යාපනයක් ගැන කතා කරනවුන් ජාත්‍යන්තර පාසල් දෙස බලන්නේවත් නැත. 
එවැනි අනීතික තත්ත්වයක් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලය මගින් පිහිටුවිය හැකි මණ්ඩප, පීඨ, අධ්‍යන ආයතන සහ පාසල් ආදියෙහි නැත. ඒ පිළිබඳව පනතෙහි 06(4) වගන්තියේ සඳහන් වන්නේ විෂය භාර ඇමතිවරයාගේ විධානය යටතේ ඒවා ගැසට් කළ යුතු බවය. පනතෙහි 08 වන වගන්තිය යටතේ කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි විගණනය කෙරුණු පූර්ණ වාර්ෂික වාර්තාවක් ඇමතිවරයා මගින් පාර්ලිමේන්තුවට ලබා දිය යුතු වන්නේය. 
නිදහස් අධ්‍යාපනය මුදලට අලෙවි කිරීමේ කතාවත් එවැනිමය. සියලු රජයේ විශ්ව විද්‍යාල මුදල් අය කරන ඩිප්ලෝමා, උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා පවත්වා ගෙන යන්නාහ. විවෘත විශ්ව විද්‍යාලයයේ 2018 වාර්ෂික වාර්තාවට අනුව ඔවුන් ලැබූ මුළු ආදායම රුපියල් මිලියන 812.51 කි. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පාරට බසින කිසිවකු ඒ අය කිරීම් ගැන කතා නැත.
පාසල් අධ්‍යාපනයත් අද පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලු කිරීමේ සිට සියල්ල මුදලට තීන්දු වන්නකි. ප්‍රධාන නගරවල “ටියුෂන් සර්ලා” වාහන හත අට තියාගෙන සුපර්මාකට් ජාල වැනි පෞද්ගලික පංති කර ගෙන යන්නේද නිදහස් අධ්‍යාපනයේ කර්මාන්ත හිමියන් ලෙසින් ය. ඉතාම කෙටියෙන් හා සරළව කිවහොත් නිදහස් අධ්‍යාපනයක් මේ රටේ නැත. පෙර පාසලේ සිට විශ්ව විධ්‍යාල උපාධිය දක්වා අධ්‍යාපනය දැන් විවිධාකාරයෙන් අලෙවි වන්නකි. එය සෘජුව හා විවෘතව මෙන්ම වක්‍රවද අලෙවි වන්නකි. එවගේම අධ්‍යාපනයෙහි ඇති සමබිමක්ද නැත. ජාතික අධ්‍යාපනය රජයේ පාසල්වලද සුළු කොටසකට පමණක් අත ගැසිය හැකි ඉංග්‍රීසි මාධ්‍ය ඉගැන්වීම් සමග කැබලිකර තිබියදී ඉන් බැහැරව ජාත්‍යන්තර පාසල් සරුව වැඩෙද්දී අධ්‍යාපනයෙහි පැවතිය හැකි සමබිමක් නැත.               එබැවින් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් එහාට ගොසින් මේ නැගෙන චෝදනා මඳක් විමසුවහොත් කතාව බෙහෙවින් වෙනස් ය. ඉදිරියේදී “අධ්‍යාපන හමුදාකරණය කිරීම” සහ “නිදහස් අධ්‍යාපනයේ සමබිම විනාශ කිරීම” ඉස්මතු කෙරෙන්නේ රටේ පළාත් 09 න් පළාත් 07 ට පමණක් අදාල කරමින් ය. හමුදා සහ පොලීසියේ ප්‍රචණ්ඩ මැදිහත්වීම් නැගෙනහිර සහ විශේෂයෙන් උතුරේ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් දසකයකට වැඩි කාලයක් අත් විඳින්නක් වූවත් ඒ ගැන මේ කිසිවකු “හමුදාකරණය” යැයි කතා කරන්නේ නැත. 
ඒ වැනි සිදුවීම් කොළඹ කේන්ද්‍රීය ප්‍රධාන මාධ්‍යයන්ගේ පමණක් නොව, විකල්ප මාධ්‍ය ලෙස පෙනී සිටින අන්තර්ජාල පුවත් අඩවි පවා වාර්තා කරන්නේ යන-එන ගමන් ය. බොහෝවිට එවැනි මර්දනයකට හසුවන සිසු සිසුවියන්ට “එල්.ටී.ටී.ඊ සම්බන්ධකම් ඇතැයි සැක කෙරෙන” වැනි විශේෂනද යොදමින් ය.
ගුරු සංගම්, සහ දකුණේ විශ්ව විද්‍යාලයන්හි ශිෂ්‍ය හා ඇදුරු සංවිධාන උතුරේ හා නැගෙනහිර අධ්‍යාපනය හමුදාකරණය කිරීම “රටේ ප්‍රශ්නයක් ලෙස” ගෙන කතා කර නැත. එහි පෙර පාසල්වල සිට විශ්ව විද්‍යාල දක්වා ගුරුවරුන් හා සිසු සිසුවියන් ආරක්ෂක සේවා හා පොලිස් අධීක්ෂනයට යටත්ව ඇත. ඒ අතර පෙර පාසල් ගුරුවරියන් පුහුණු කිරීම, පාසල් ගොඩනැගිලි ඉදි කිරීම, ළමුන්ට විශේෂ විනෝද සංචාර සංවිධානය කරදීම, සා.පෙළ වැනි පංතිවල සිසු සිසුවියන්ට නොමිලේ අමතර සම්මන්ත්‍රණ පැවැත්වීම වැනි බොහෝ දේ නැගෙනහිර හා උතුරේ විශේෂයෙන් සිදු වන්නේය. 
ඒ සමග ඉතා කෙටියෙන් මෙයද සටහන් කළ යුතුය. හරිනි අමරසූරිය මන්ත්‍රීනියගේ එක් තර්කයක් වන්නේ විශ්ව විද්‍යාල පරිපාලනය තිබිය යුත්තේ ප්‍රතිපාදන කොමිසම වැනි සිවිල් නියෝජනයක් සමගින් මිස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙහි මෙන් හමුදා පාලක සභාවක් යටතේ නොවන බවය. ඇය ඉතා පහසුවෙන් අමතක කර ඇත්තේ පූර්ණ සිවිල් නියෝජනයක් සහිත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේද උතුරු නැගෙනහිර විශ්ව විද්‍යාල හමුදාකරණයට යටත්වන බවය. 
ඇය කියන පූර්ණ සිවිල් නියෝජනයක් සහිත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමද හමුදා අවශ්‍යතාවන් අනුව කටයුතු කරන බව දැන් අමතක වූවත් ඇය ඉතා හොඳින් දන්නා කාරණයකි. යාපනය විශ්ව විද්‍යාලයයෙහි නීති පීඨයේ ප්‍රධානී ආචාර්ය කුමාරගුරුපරන්ගේ සමාජ සේවා නීති කටයුතු තහනම් කිරීමට 2019 දෙසැම්බරයේදී පූර්ණ සිවිල් නියෝජනයක් සහිත විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ලිඛිතව නියෝග කරනු ලැබූයේ හමුදා විමසීමක් අනුවය. එයට විරුද්ධ විරෝධතා ලියැවිල්ලට අත්සන් කළ දෙමළ හා යාපනය විශ්ව විද්‍යාලයෙහි නොවන විශ්ව විද්‍යාල ඇදුරන් 08 දෙනාගෙන් එක් අයකු ඇය වූ බවත් ඇයට අමතකව ඇත. දැන් කිසිවකු උතුරු නැගෙනහිර එවැනි මැදිහත්වීම් ගැන කතා නොකරන්නේ ඒවා හමුදාකරණයට අයත් නොවන නිසා නම්, දකුණේ “හමුදාකරණය” යැයි කියන්නේ කවර ආකාරයේ මැදිහත්වීම්දැයි මේ යෝජිත පනත් කෙටුම්පතට විරුද්ධ වනවුන් පැහැදිලි කළ යුතු ය.
අපගේ දේශපාලන වුවමනාවන් කුමක් වූවත් අප පිළිගත යුතු වැදගත්ම හා ප්‍රධානම කාරණාව මේ රට මුහුණ දෙන දැවැන්තම අර්බූද වන්නේ ආර්ථිකයේ දෙකොණ ගැට ගසා ගැනීමට ආණ්ඩුවට ඇති අසීරුවත් කොරෝනා වසංගතය මැඩ පැවැත්වීමේ අසංවිධානාත්මක පිළිවෙත හමුවේ සමාජ පැවැත්ම බිඳ වැටීමත්ය. ඒ සමග සමාජය පුරා වැඩිමනත් ප්‍රදර්ශනය වන අර්බූදය වන්නේ දිගින් දිගටම පාසල් වසා තැබීමය. එය එතෙක් වර්ධනය වූ අධ්‍යාපන බිඳ වැටීම උපරිමයට රැගෙන ආවකි.
මේ අධ්‍යාපන බිඳ වැටීම හමුවේ අපට අවශ්‍ය වන්නේ දුර දිග යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ය. පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල ඇතුලු උසස් අධ්‍යාපනය දක්වා සියල්ල අලුතින් තහවුරු කරන්නාවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් ය. විෂය මාලා, පාඨමාලා, ගුරු පුහුණුව, පාසල් පරිපාලනය, විශ්ව විද්‍යාල නවීකරණය, වෘත්තීය පුහුණු අධ්‍යාපනය, වැඩිහිටි අධ්‍යාපනය වැනි සියල්ල ඇතුළත් කෙරෙන සමාජගත කතිකාවක් ඔස්සේ කෙරෙන ප්‍රතිසංස්කරණ සඳහාවන අධ්‍යාපන ධවල පත්‍රිකාවකි. එවැන්නකින් තොරව කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට එරෙහි වීමෙන් පමණක් ලැබිය හැකි වැදගත් කිසිවක් නැත. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය, පෞද්ගලික විශ්ව විද්‍යාල, ජාත්‍යන්තර පාසල් ආදී සියල්ල ජාතික අධ්‍යාපනයෙහි ස්ථානගත කෙරෙන්නේ කෙසේදැයි තීන්දු කළ යුත්තේ ඒ සමාජ කතිකාව ඇතුළෙහිය.           අවසන් වශයෙන් රාජපක්ෂ විරෝධීන්ට කිව යුත්තේ සමස්ථ අධ්‍යාපන අර්බූදයට විසඳුම් ඉල්ලීමෙන් මෙපිට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත හකුළා ගැනීමට බලකර පමණින් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය අහෝසි නොවන බවය. උපාධි සඳහා මුදල් අය කිරීම්ද නතර නොවන බවය. පාසල් අධ්‍යාපනය අලෙවි වීමද නතර නොවනු ඇත. ඒ සියල්ල සමග බිඳ වැටෙන සමස්ථ අධ්‍යාපනයට විසඳුම් ලැබෙන්නේද නැත. කෙටියෙන් කිව යුත්තේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධවීමෙන් සියල්ලන්ට ඔබින, රටට ප්‍රයෝජනවත් ජාතික අධ්‍යාපනයක් ස්ථාපිත කළ නොහැකි යැයි කියාය. එනිසා මේ දරණ මහන්සිය, මේ කෙරෙන කැප කිරීම හා ගන්නා අවදානම ගත යුත්තේ අධ්‍යාපන ධවල පත්‍රිකාවක් මගින් සමස්ථ අධ්‍යාපනය ගොඩ දා ගැනීමට ය. 
කුසල් පෙරේරා