පොලිස් ඇමැති ‘පරණ බෙරය‘ යළි ගහයි !

පොලිස් ඇමැති ‘පරණ බෙරය‘ යළි ගහයි !
Spread the love

රටේ විනය මෑතදී පිරිහී ඇති බවත්, විනයගරුක සමාජයක් ඇති කිරීම සඳහා වයස අවුරුදු 18 ට වැඩි අයට හමුදා කඳවුරුවල පුහුණුවක් ලබා දිය යුතු බවත් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ පණදුර අළුබොමුල්ල සහ හිරාන පොලිස් ස්ථාන විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වෙමිනි.

රටේ විනය වඩාත් නරක අතට හැරෙමින් පවතින අතර එවැනි සමාජයක කප්පම්කරුවන්, ස්ත්‍රී දූෂකයින්, පාතාල අපරාධකරුවන් නිසා කිසිවෙකුටත් බියෙන් හා සැකයකින් තොරව ජීවත් විය නොහැකි බව අමාත්‍යවරයා පැවසීය. 

“වයස අවුරුදු 18 ට වැඩි අයට හමුදා පුහුණුව ලබා දිය යුතු යැයි මම පාර්ලිමේන්තුවේදී පැවසූ විට මට අපහාස කළා. හමුදා පුහුණුව සටන්කාමියෙකු බවට පත්වීම යැයි සමහරු විවේචනය කළා. වයස අවුරුදු 18 ට වැඩි තරුණ තරුණියන්ට කිසියම් පුහුණුවක් ලබා දිය හැකි නම්, එම පුහුණුව ලබා දීමට හොඳම ස්ථානය හමුදා කඳවුරක් බව වගේ විශ්වාසයයි. එහි අදාළ පුහුණුවට අවශ්‍ය සියලු පහසුකම් තිබෙනවා. පෞරුෂත්වය ඉහළ නංවන ඕනෑම පාඨ මාලාවක් හෝ පුහුණුවක් මගින් ක්‍රමයෙන් සමාජය විනයගරුක ආයතනයක් බවට පත් කළ හැකියි” යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

මේ අදහස සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ විශාල පිරිසක් කියා සිටියේ රටේ පවතින බරපතළ ගැටලුව ගැන කිසිම වැටහීමක් නැති දේශපාලකයින්ගේ මෙවැනි ඊනියා ප්‍රකාශවලට කිසිදු ප්‍රචාරයක් ලබා නොදිය යුතු බවයි.

‘රටේ විනය පිරිහුණේ හමුදා පුහුණුව නැති නිසා නෙමෙයි. දේශපාලනඥයින්ගේ අවනීතික වැඩ නිසා. ඔවුන් තමයි මේ සියලුම අපරාධකරුවන්, ස්ත්‍රී දූෂකයින්, පාතාල අපරාධකරුවන් නඩත්තු කරන්නේ. ඔවුන්ට රැකවරණය දෙන්නේ. අනික් අතින් මේ හැම අපරාධයක් පිටිපස්සේම හමුදා හෝ පොලිස් නිලධාරීන් ඉන්නවා. මේ දවස්වල ආන්දෝලනයට ලක්ව ඇති 15 හැවිරිදි දැරිය දූෂණය කළ අය අතර ආරක්ෂක අංශවල, පොලිසියේ නිලධාරීන් ඉන්නවා. කප්පම්කරුවන් අතර බහුතර හමුවේ හිටපු සොල්දාදුවන්. මේ වාගේ තත්ත්වයක් තියෙන රටක අදුරු 18ට වැඩි අයට හමුදා පුහුණුව දෙන්න යෝජනා කරන්න පුළුවන් මොලේ අමාරුවක් තියෙන අයෙකුට විතරයි‘ අප සමග අදහස් දැක්වූ සමාජ විද්‍යාඥයෙක් සදහන් කළා.