බර ඔසවා මවුබිම රනින් සැරසූ ‘ශ්‍රීමාලිගේ මව සහ පියා හෙළිකළ‘ සංවේදී කතාව

බර ඔසවා මවුබිම රනින් සැරසූ ‘ශ්‍රීමාලිගේ මව සහ පියා හෙළිකළ‘ සංවේදී කතාව
Spread the love

උස්බෙකිස්තානයේ පැවැත්වෙන ලෝක ශුරතා සහ පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේදී  දී කාන්තා කිලෝග්‍රෑම් 45ට අඩු බර පන්තියේ රන් පදක්කම හිමිකර ගත් ශ්‍රීමාලී සමරකෝන්  ක්‍රීඩිකාවගේ  මව පියා සහ නිවස සොයා අද (10) පෙරවරුවේ අප හබරණ තිබලව ගමට ගියමු.

මේ වන විටත් උස්බෙකිස්ථානය සිටින ශ්‍රීමාලී සමරකෝන් රන් පදක්කම්ලාභී ක්‍රීඩිකාවගේ  මව සහ පියා කිරි ගවයන්ගෙන් ජීවිතය ගැටගසා ගන්නා පවුලකි.

ඔවුන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසය අතර පිහිටි ‘තිඹලව‘ නැමැති ගමේ පදිංචිව සිටිති.

තම දියණියගේ ජයග්‍රහණය පිළිබඳව ප්‍රවෘත්ති  නාලිකා වලින් දැන ගත් බව ශ්‍රීමාලිගේ දෙමාපියෝ කියති.

අප එම නිවසට යන විට ‍ ශ්‍රීමාලි සමරකෝන් ක්‍රීඩිකාව ගේ පියා සමරකෝන් (55) මහතාත් මව වන ආර්.එම්. ඩබ්ලිව්. සුනේත්‍රා කුමාරි  (53)  කිරි ගවයන්ගේ  කටයුතුවල නිරතව සිටින අයුරු දැක ගැනීමට හැකි විය.

අතේ ඇති ගොම  ඇඳිවතන්  පිහදා ගත් සුනේත්‍රා කුමාරි තම දියණියගේ ජයග්‍රහණය ගැනත් අය ඒ දක්වා පැමිණි ගමන් මග පිළිබඳවත් අප සමග මෙසේ පැවසුවාය.

‘ශ්‍රීමාලි දුව කුඩා අවධියේ සිටම බර ඉසිලීමේ ක්‍රීඩාවට දක්ෂයි. දුව 2015 වසරේ දී මේ තරගාවලියෙන්ම ලංකාවට රිදී පදක්කමක් ලබා දුන්නා. අපි දුවට උගන්වන්න බොහොම දුක්කරදර වින්ඳා‘ ඇය අප සමග පැවසුවාය.

මේ වන විටත් තම කුඹුරක් උගසට තබා කිරි ගවයන් දෙදෙනකු මිලදී ගෙන ශ්‍රීමාලි දියණියටත් කුඩා දියණියටත් ඉගැන්වීම් කටයුතු සිදු කරන බවද තම දියණිය බර ඉසිලීම් සිදු කොට දිනාගත් රන් පදක්කමේ ගෞරවය සහ සතුට මෙම කිරි  දෙනුන්ට  හිමිවන බව ඇය  නිරහංකාරයෙන් යුතුව පැවසුවාය

ශ්‍රීමාලි දියණිය හත්වන වසරේ අධ්‍යාපනය ලබද්දී හබරණ පාසලේ දී ලැබූ ජයග්‍රහණ පිළිබඳවත් ඇය දැඩි ආර්ථික දුෂ්කරතා මැද බර ඉසිලීමේ ඉසව්ව කරන බව ප්‍රවෘත්ති මගින් විකාශනය කොට ඇයට එකල විවිධ අයගේ උදව් උපකාර ලබා දීමට ජනමාධ්‍යවේදීන් පියවර ගත් බව ද  ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

ශ්‍රීමාලීගේ පියා ඩී.එම්. සමරකෝන් මහතා කියා සිටියේ තම දියණියගේ ජයග්‍රහණය පිළිබඳව සතුටු වන බවත්  එමෙන්ම තම දියණිය ගේ ක්‍රීඩා ගුරුවරයා වූ නදීක බණ්ඩාර මහතා නිසා මෙම සියලු ජයග්‍රහණ ලැබුණු බවත්ය.

‘නදීක සර් තමයි දුවගේ ජයග්‍රහණය පිටුපස සිටින යෝධ ශක්තිය. එතුමා තමයි දුවගේ දක්ෂතා හඳුනා ගෙන ඇයව මේ තත්ත්වයට ගෙන ආවේ‘ සමරකෝන් මහතා කීවේය.

ලංකාව රනින් සැරසූ ශ්‍රීමාලී සමරකෝන් හබරණ  මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය සහ බර ඉසිලීමේ ක්‍රීඩාවට යොමු වී පසුව උසස් අධ්‍යාපනය සඳහා මහනුවර මහමායා බාලිකා විදුහලට ඇතුළත්ව මේ වන විට ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ අධ්‍යාපනය ලැබූ මෙම සිසුවිය කුඩා අවධියේ ලැබූ ජයග්‍රහණ එකල අප වාර්තා කළ අතර අදාළ වීඩියෝ දර්ශන ද තවමත් අප සතුව ඇත.

අප මේ නිවසට යද්දී තම මිනිබිරියගේ ජයග්‍රහණයට 110 හැවිරිදි කිරි අම්මා සුබ පැතුම් එක් කළාය.

ශ්‍රී මාලී සමරකෝන්ගේ දහම් පාසල් ගුරුවරයෙකු වූ නන්දන සෙනවිරත්න මහතා ද ජයග්‍රහණය පිළිබඳ පුවත ලද විගස උදෑසන එම නිවසට පැමිණ සිටියේය.

නන්දන මහතා කියා සිටියේ ආර්ථික  දුෂ්කරතාවයන් සහිතව මෙම ගම්මානයේ ජීවත් වන අසරණ පවුලක දියණියක් ලෝකය ජය ගන්නට දැඩි වෙහෙසක් දැරූ බව ය.

‘ඇය මේ ජයග්‍රහණය ලබා ගත්තේ අසීමිත කැප කිරීම් කරලා, ඒ වගේම දැඩි දුෂ්කරතා මැද. දැන් බලධාරීන් කළ යුත්තේ මේ ජයග්‍රහණය සමග ඇයව ඔසවා තබනවාට වඩා මීටත් වඩා ඉහළ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඇයට උදව් පදව් කිරීමයි. මොකද ශ්‍රීමාලි දියණියගේ ක්‍රීඩා ජීවිතය රැක ගන්න ඇයගේ මව සහ ප්‍රදේශවාසීන් නගර පුරා ඇවිද මුදල් එක්තු කරමින් බොහෝ දුක් වින්ඳා. ඒනිසා ඇයට තව දුර ගමනක් යාමට අවශ්‍ය ආර්ථික ශක්තිය ලබාදීමයි බලධාරීන් කළ යුත්තේ‘‘ නන්දන මහතා දැඩි සංවේදීව පැවසීය.

අප එම නිවසේ සිටම ශ්‍රීමාලී සමරකෝන් ක්‍රීඩිකාව මාර්ගත ඔස්සේ සම්බන්ධ කරගෙන ලැබූ ජයග්‍රහණයේ සතුට විමසු අතර ඇය එවිට කියා සිටියේ තමන් සහ පුහුණු ගුරුවරයා වූ නදීක බණ්ඩාර මහතා ජයග්‍රහණය ගැන දැඩි විශ්වාශයකින් සිටි බවය.

සටහන සහ ඡායාරූප – කාංචන කුමාර ආරියදාස – දඹුල්ල