බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදනවල ‘මිල ඉහළ දැමීමට සූදානමක්’

බස් ගාස්තු සහ බේකරි නිෂ්පාදනවල ‘මිල ඉහළ දැමීමට සූදානමක්’
Spread the love

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ඉදිරියේදි බස් ගාස්තු ඉහළ දමන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා අවධාරණය කරයි.

අද (12) දින පැවැති සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ප්‍රියන්ජිත් මහතා මේ බව සදහන් කළේය.

‘ ඊයේ රාත්‍රියේ සිදු වුණ ඩීසල් මිල ඉහළ දැමීම අනුව බස් ගාස්තු 15%කින් සංශෝධනය විය යුතුයි. ‘නිරෝධායන නීතිය යටතේ ආසන ගත මගීන් පමණක් රැගෙන යන්නේ නම් බස් ගාස්තුව 25%කින් සංශෝධනය විය යුතුයි‘‘

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මගීන් පෙන්වා දෙන්නේ පසුගිය කොවිඩ් සමයේ ද නිරෝධාන නීති යටතේ මගීන් ගෙන යන බව පවසමින් බස් ගාස්තු විශාල වශයෙන් ඉහළ දැමූ නමුත් පොල් පටවන ආකාරයෙන් මගීන් ගෙන යාම නතර නොවූ බවයි.

‘‘අපේ පඩි හෝ ආදායම් එක ශතයකින් වැඩි වෙලා නැහැ. තිබුණ එකත් අඩු වුණ එක තමයි සිද්ධ වුණේ. එහෙම තියෙද්දී බස් ගාස්තුත් වැඩි වුණොත් අපිට හුළං බොන්න තමයි වෙන්නේ‘‘ යැයි මගීන් අප සමග පැවසූහ.

මේ අතර ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් ඉහළ දැමීම හේතුවෙන් බේකර නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ දැමීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා අද (12) පැවැති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

ජයවර්ධන මහතා පැවසුවේ මේ වන විටත් ඇතැම් බේකරි හිමියන් සිය නිෂ්පාදනවල මිල ඉහළ නංවා ඇති බවයි.

ඉන්ධන මිල මෙන්ම බේකරි නිෂ්පාදනයට අවශ්‍ය සෙසු අමුද්‍රව්‍යවල මිලද මේ වන විට ඉහළ ගොස් ඇති බව ද ඔහු පෙන්වාදෙයි.