බැංකු වසාදමන මහ බැංකු නියෝගයෙන් ඉවතට

බැංකු වසාදමන මහ බැංකු නියෝගයෙන් ඉවතට
Spread the love

පෞද්ගලික බැංකු රැසක් අද (07) දින සිට දින හතක් සියලුම ශාඛා වසා තබන බව නිවේදනය කළ ද සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් බැංකු සේවා දිගටම පවත්වා ගෙන යන ලෙස මහ බැංකුව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට  උපදෙස් ලබාදී ඇත.

අද (07) දින නිවේදනයක් නිකුත් කරමින් කොමර්ෂල්, සම්පත්, සෙලාන්, ඩී.එෆ්.සී.සී. නේෂන්ස් ට්‍රස්ට්, අමානා සහ යූනියන් යන පෞද්ගලික බැංකු ලබන 13 වැනිදා දක්වා වසා තබන බව නිවේදනය කර තිබුණි.‘කොවිඩ්’ වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා සංචරණ සීමා ක්‍රියාත්මක වීම නිසා සාමාන්‍ය බැංකු සේවා සඳහා බැංකු සේවා සිදු නොකරන බව ද එම නිවේදනයේ සඳහන් වේ.

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යෑම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ පොලිස්පතිවරයාගේ අවසරය ලබාගත් ඒ අනුව ‘කොවිඩ්-19’ වසංගතය පැතිර යෑම පාලනය කිරීමේ සෞඛ්‍යාරක්ෂිත පියවර සහ සංචරණ සීමා දැඩි ලෙස අනුගමනය කරමින් අත්‍යවශ්‍ය බැංකු සේවා පවත්වාගෙන යන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව, බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂ බැංකුවලවලට උපදෙස් ලබා දී ඇත.

මෙම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන ආකාරයට බලපත්‍රලාභී බැංකුවක සේවක සංඛ්‍යාව 15 නොඉක්ම විය යුතුය. වැඩ වාර සටහනකට අනුව සේවකයන් ගෙන්විය යුතු වන අතර ඒ ඒ බැංකු ශාඛාවේ බැංකු පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අනුව නිශ්චිත දිනවලදී බැංකු විවෘත කළ යුතු වේ.

බැංකු කළමනාකරුවන් ළඟම පොලිස් ස්ථානයෙන් පූර්ව අනුමැතිය ලබා ගත යුතු අතර බැංකුවේ සේවකයන්ට ගමනා ගමනය කිරීම සඳහා අවසර ලිපියක් ද ලබා දිය යුතු වේ.

මූල්‍ය, භාණ්ඩාගාර මෙහෙයුම්, නිෂ්කාශන, විශ්‍රාම වැටුප් සහ වැටුප් ගෙවීම්, සහ පාරිභෝගිකයන්ගේ හදිසි අවශ්‍යතා/ඉල්ලීම් යනාදී අත්‍යවශ්‍ය බැංකුව සේවා සඳහා පමණක් බැංකු විවෘත කළ යුතු වේ.