මහජනතාවගේ හැසිරීම ගැන බලධාරීන්ගෙන් විවේචන – ජනතාවගෙන් හාස්‍යජනක ප්‍රතිචාර

මහජනතාවගේ හැසිරීම ගැන බලධාරීන්ගෙන් විවේචන – ජනතාවගෙන් හාස්‍යජනක ප්‍රතිචාර
Spread the love

සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී ජනතාව හැසිරුණු ආකාරය පිළිබදව යුධ හමුදාපතිවරයා ප්‍රමුඛ බලධාරීන් ජනතාවට චෝදනා කරද්දී සමාජමාධ්‍ය තුළ යුධ හමුදාපතිවරයා ප්‍රමුඛ බලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රායෝගික නොවන තීරණ ගැන හාස්‍යජනක කතා සහ දැඩි විරෝධයක් දැකගත හැකි වුණා.

විශේෂයෙන් යුධ හමුදාපතිවරයාව දැඩි විවේචනයටත් හාස්‍යයටත් ලක් කර තිබුණ අතර බොහෝ දෙනෙක් ඔහුගේ බිම් මට්ටම ගැන නිසි අවබෝධයකින් තොර තීන්දු ගැන විවේචනය කර තිබුණා.

මේ තත්ත්වය වර්ධන වූයේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු කටයුතු සදහා පුද්ගලික වාහන භාවිතය තහනම් කිරීම ඇතුළු තීන්දු සම්බන්ධයෙන්.

කෙසේ වෙතත් අද පැවැති මාධ්‍ය හමුවකදී යුද හමුදාපතිවරයා කියා සිටියේ ‘ජනතාවගේ හැසිරීම හොඳ නැති බවයි‘

‘‘සංචරණ සීමා ලිහිල් කෙරුණු අද (25) දිනයේදී බොහෝ පිරිස් හැසුරුණු ආකාරය සතුටු විය නොහැකියි. ඒ නිසා ඉදිරියේදී වෙළඳ සල් විවෘත කිරීම වෙනුවට අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ යොදවා බෙදාහැරීමේ වැඩපිළිවෙලකට ඉදිරියේදී යොමු වීමට රජයට සිදුවේවි. අත්‍යවශ්‍ය භාණ්ඩ නිවස ආසන්නයේම වෙළෙඳ සලෙන් ලබා ගැනීමට දුන් අවස්ථාව ඇතැම් පිරිස් එළිපිටම අවභාවිතා කළ ආකාරයක් පෙනෙන්නට තිබුණා. මේ ආකාරයට ජනතාව අවිචාරවත් ලෙස කටයුතු කිරීම අවසන් ප්‍රතිඵලය ඉතාම පැහැදිලියි‘‘

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ ජනතාවගේ හැසිරීම ගැන සෞඛ්‍ය අංශ කනගාවුට පත්ව සිටින බවයි.

‘‘රජය විසින් දැඩි සංචරණ සීමා පනවනු ලබන්නේ කොවිඩ් -19 රෝග තත්ත්වය පාලනය කිරීමටයි. ඒ සදහා මහජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍යයි. ඔවුන්ගේ සහාය නැතිව මේක සාර්ථක කරගන්න බැහැ. සංචරණ සීමා ලිහිල් කළ අද (25) දිනයේදී ජනතාව විශාල වශයෙන් ප්‍රධාන නගර කරා එක්රැස් වුණ ආකාරය අපි දැක්කා. මෙම තත්ත්වය කිසිසේත් යහපත් දෙයක් නොවෙයි. ජනතාවගේ මෙවැනි වගකීම් විරහිත හැසිරීම් මගින් කොවිඩ් වසංගතය තව දුරටත් ව්‍යාප්ත වෙනවා‘‘