මහ කන්දයේ කුඹුරුවලට මොකද වෙන්නේ ? – ඇමති මහින්දානන්ද සංඛ්‍යා ලේඛන හෙළිකරයි

මහ කන්දයේ කුඹුරුවලට මොකද වෙන්නේ ? – ඇමති මහින්දානන්ද සංඛ්‍යා ලේඛන හෙළිකරයි
Spread the love

මහ කන්නයේ වී වගා කළ යුතු කුඹුරු හෙක්ටයාර්  ලක්ෂ අටෙන් මේ වන විට කුඹුරු ඉඩම් හෙක්ටයාර් ලක්ෂ පහක වී වගාව ආරම්භ කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. ඔහු පෙන්වා දෙන්නේ නොවැම්බර් මස අවසාන වන විට ගොවියෝ තම කුඹුරු ඉඩම් සියල්ල වගා කිරීමට පෙළඹෙන බවය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පේරාදෙණිය ගන්නොරුව පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදී පැවැති සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහනේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

“ගොවියාට වී ගොවිතැනට අවශ්‍ය කාබනික පොහොර රජයෙන් ලබා දෙනවා. වල් හා දීලීරනාශකත් ගෙන්වා දෙන්න දැන් රජය පියවර අරගෙන තිබෙනවා. ඒ නිසා ගොවියෝ වගා කරන්න පටන් ගෙන තිබෙනවා. උතුරු නැගෙනහිර කිසිම උද්ඝෝෂණයක් නෑ. ඒ අය පොහොර තමන්ම හදාගෙන වගා කරනවා. දකුණේ අපේ ගොවියෝ රසායනික පොහොර ඉල්ලලා මහ පාරේ අරගල කරනවා. මේ අරගල කරන්නේ නියම ගොවියෝ නොවෙයි. දේශපාලන පක්ෂවලට අයත් සාමාජිකයන්. ඔවුන්ට උද්ඝෝෂණය කරන්න උපවාස කරන්න කන්න බොන්න හැමදේම හම්බ වෙනවා. පොළොන්නරුව උපවාස කරන ගොවීන් අතර කී දෙනෙක් නියම ගොවීන් ඉන්නවද බලන්න. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් මේ උපවාසකරුවන් අතරට ගිහින් නොයෙක් දේ කියලා තියෙනවා. මම ඒ කිව්ව දේට උත්තර දෙන්නෙ නෑ. මොනවා වුණත් හිටපු ජනාධිපතිවරයෙක්නෙ. මම උත්තර දුන්නොත් එතුමාට පාරේ බැහැල යන්නත් බැරි වෙන්න පුළුවන්.” යැයිද මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා කීවේය.

සෞභාග්‍යා ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් දිවයින පුරා පවුල් ලක්ෂ දොළහකට ප්‍රතිලාභ ලැබෙන බවද, මෙමඟින් වසවිසෙන් තොර ආහාර සුරක්ෂිතාව ඉහළ නංවා ගැනීමට අපේක්ෂිත බවද අමාත්‍යවරයා කීවේය. මෙම ගෙවතු වගාවට සම්බන්ධවන පවුල් අතරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් හා ජාතික මට්ටමින් හොඳම ගෙවත්ත තෝරා ගැනීමේ තරඟයක් සංවිධානය කර ඇති බවද, ජාතික මට්ටමින් හොඳම ගෙවත්ත හදා ගන්නා පවුලට ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මැදිහත් වීමෙන් නොමිලේ ගෙයක් පිරිනමන බවද, දිස්ත්‍රික් මට්ටමින් හොඳම ගෙවත්ත හදා ගන්නා පවුල් 200 කට රුපියල් 50,000/=බැගින් ජාතික නිවාස අධිකාරියෙන් මුදල් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා කීවේය.

මෙම අවස්ථාවට නිවාස රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, නිවාස අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා ඇතුළු කෘෂිකර්ම හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු ගෙවතු වගාවට තෝරා ගත් පවුල් සියයක සාමාජිකයින් සිය දෙනෙකු ද සහභාගි වී සිටියහ.