මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහ කන්නය සඳහා අවශ්‍ය කෘෂි රසායන (කෘමි, දිලීර හා වල් නාශක) ලබාදීම සම්බන්ධයෙන් විමසමින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් උදිත කේ ජයසිංහ වෙත දැඩි විවේචනාත්මක ලිපියක් යොමු කර ඇත.
මහ කන්නය ආරම්භවීමට තවත් ඇත්තේ සති 3 ක් තිබිය දී, වගාව සඳහා අත්‍යවශ්‍ය කෘෂි රසායන ගොවියාට ලබාදීමට කිසිදු වැඩපිළිවෙලක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නැතැයි ලිපිය මගින් පවසන කවිරත්න මන්ත්‍රීවරිය රජයේ කෘෂි රසායන ප්‍රතිපත්තිය ගොවියාට පැහැදිලි කළ යුතුව ඇතැයි පවසයි.
එම ලිපියේ තවදුරටත් දැක්වෙන්නේ,
‘මහ කන්නයේ කුඹුරු සහ හේන් ගොවිතැන සඳහා බිම සකස් කිරීමට වල් නාශක අත්‍යවශ්‍ය වේ. වල් නාශක යොදා පඳුරු විනාශ කර හේන් ගිණි තැබීම වගා බිම් සැකසීමේ මුල්ම පියවරයි. ලංකාවේ සෑම ප්‍රදේශයකම ඇති වල් නාශක නැගෙනහිරට ප්‍රවාහනය කරති. බහුදින ධීවර යාත්‍රා මගින් ඉන්දියාවේ සිට රැගෙන එන නීති විරෝධී වල් නාශක මන්නාර, දකුණ හා නැගෙනහිර මුහුදු කලාපයෙන් රටට ඇතුළුවන බවයි.
තවද, බීජ සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නොමැතිකම නිසා බීජ වර්ග (ඉරිගු, මුං, තල, උඳු, කොල්ලු, මෙනේරි) ගොවි නිවෙස්වල විනාශවෙමින් ඇත. අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වී වගාව පිදුරු බවට පත්ව ගොවීන් කුඹුරු ගිණි තබන්නේ කෘමි හානි නිසා බව පවසන ලිපිය, දිලීර නාශක නොමැතිවීම නිසා නිරිතදිග මෝසම් සමයේ නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවල තේ දළු අස්වැන්න පහත වැටී ඇත. වැසි සමයේ දින 4-5 ක අඛණ්ඩ වැස්සකට, මීදුම හා තෙතමනය අධික කාලගුණයක දිලීර මර්ධනයට ‘දිලීර නාශක‘ අතශ්‍යවශ්‍ය වන බව අවධාරණය කරන කවිරත්න මහත්මිය, කෙටි කාලීන වී වර්ග සිටවීම හෝ වැපිරීමෙන් පළමු දින 3 සිට සති 4 දක්වා වල් මර්ධනය අනිවාර්ය වේ. රජරට ගොයම් ගස් බොල් වී – පිදුරු බවට පත්වන බව පවසයි.
කෘෂි රසායන නොමැතිව වානිජ්‍ය කෘෂිකර්මාන්තය සිදු කළ නොහැකි බව කෘෂි විද්‍යා පිඨයක මහාචාර්යවරයෙකුවන ද ආමාත්‍යාංශ ලේකම්වරයා, කෘෂි රසායන නොමැතිවීම දින දෙක තුනකින් සම්පූර්ණ වගාබිමක් විනාශ කිරීමට හේතුවන බව නොතකා කටයුතු කරමින් සිටින බවට චෝදනා කරයි.
කෘෂි රසායන අලෙවිය තනි සමාගම් ඒකාධිකාරය
පසුගිය දා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පත්‍රිකාව අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය කෘෂි රසායන ආනයනයේ ඒකාධිකාරය තනි සමාගමකට පැවරීමට උත්සහ දරන බව පැහැදිලිය. සීනී ආනයනයේ යෙදුණු සමාගම් 67 ක් වෙනුවට සමාගම් 12 කට ආනයනය සීමා කිරීම මගින් ඇති වී ඇති තත්වය රටම දනී. කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් සකස් කළ කැබිනට් පත්‍රිකාව මගින් කෘෂිරසායන ආනයනයේ 87% ක ඒකාධිකාරයක් සති සමාගමක් වෙත ලබාදීමට යෝජනා කර තිබු බව ලිපිය මගින් විවේචනය කර ඇත.
1977 විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුව, ලංකාවේ පළමු වරට කෘෂි රසායන ආනයන ඒකාධිකාරය තනි සමාගමකට ලබාදීමටත්, ‘බෝට්ටු කෘෂි රසායන‘ සහ ‘කළු කඩ වස වෙළෙඳාම‘ ප්‍රවර්ධනයට කෘෂිකර්ම අමාත්‍යාංංශය කටයුතු කරන බව ලිපිය දක්වයි.
අධික විෂ සහිත කෘෂි රසායන හොර පාරේ ආනයනයට ඩොලර් වෙනුවට මේ රටේ රත්තරං ටික හොර පාරේ ඉන්දියාවට පටවනු ලබයි. කෘෂිකර්ම අමාත්‍යාංශය කාබනික කෘෂිකර්මය කියා ලේබල් ගසමින් අධි විෂ කෘෂි රසායන රටට ගෙන්වීමට අවශ්‍ය පදනම සකස් කර ඇත.
කවිරත්න මහත්මිය ලේකම්වරයා වෙත අවධාරණය කර ඇත්තේ,
කෘෂි රසායන කිසිවක් ආයනයන නොකරන්නේය යන ස්ථාවර තීරණයේ රජය සිටින්නේ නම්, ඒ බව රටට ප්‍රකාශ කිරීම අමාත්‍යාංශයේ වගකීමකි. එවිට ලංකාවේ ජනගහනයෙන් 30% ක් වන කෘෂිකර්මාන්තයෙන් යැපෙන්නන්ට වෙනත් විකල්පයක් සොයා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.
- මෙරට කෘෂි රසායන ආයනයනයෙන් 60% වල් නාශක වේ. වල් නාශක ආයනයන සම්පූර්ණයෙන්ම තහනම් කරන්නේ නම්, සත්ව ආහාර (බඩ ඉරිඟු) ඇතුළු සියලු දේ ආනයනය කිරීමට සිදුවේ. එපමනක් නොව, තේ, රබර්, කටුපොල් වගාබිම් සඳහා චීන හෝ වෙනත් කම්කරුන් ආනයන කිරීමට සිදුවනු ඇත්තේය.
- දිලීර හා කෘමි නාශක ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා බෙදා හැරීමට යෝජනා කර ඇත. මි.ලි. 50 ක වස බෝතලයක් හෝ ග්රූම් 400 ක දිලීර නාශක පැකට්ටුවක් ගන්නට දින දෙක තුනක් ගොවි ජන සේවා මධ්‍යස්ථාන ගානේ රස්තියාදු වන විට දිලීර, පනු වර්ග වගාව විනාශ කර අවසන්ය. පසුගිය වසරේ පොළොන්නරුව, මාතලේ ඇතුළු කලාපයේ සේනා දළඹු වසංගතය පැතිරුණි. එක් දිනක් තුල සම්පූර්ණ වගාව විනාශ කිරීමට මේ කෘමීන්ට හැකියාව ඇත. කුඩිත්තන්ගේ ආක්‍රමණයෙන් දින දෙකකින් සම්පූර්ණ වගාව විනාශවන බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවට, අමාත්‍යාංශයට අවබෝධ නොවීම ජාතියේ අවසනාවකි. අමාත්‍යාංශයේ මෙම මෙම ප්‍රතිපත්තිය කෘෂිකර්මය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබූවන්නට පමණක් නොව පරිපාලනයේ මුලිකාංග පිළිබඳ අවබෝධයක් ඇති පුද්ගලයින්ගේ දැනුමට කරන නිගරුවකි. ජීවිත කාලයට ගොවිතැනින් යැපෙන අහිංසක ගොවියෙකුට ඇති සාමාන්‍ය දැනුම නොමැතිවීමකි.
- අද වන විට කාබනික කෘෂිකර්මාන්ත යැයි කියමින් පොහොර ලේකම් කාර්යාලය, තේ මණ්ඩලය, හරහා පස්සා දොරින් රසායන ද්‍රව්‍ය ඇති හැකි අයට බෙදීම සිදුවේ. කෘෂි රසායන තහනම ද එලෙසම තනි සමාගමකට වෙළෙඳ ඒකාධිකාරය ලබාදීම සඳහා සිදු කරන කූට ජාවාරමක් පමණක් බව බවයි.
මහ කන්නයට තවත් සති තුනකට වඩා කාලයක් නොමැති බැවින්,
- කෘෂි රසායන (දිලීර, වල්, කෘමි නාශක) ආයනයනය කරන්නේ ද? නැති ද? යන ප්‍රතිපත්ති තීරණය නිරවුල් ලෙස රටට හෙළි කරන ලෙස ද,
- කුමන ආකාරයකින් හෝ වෙළෙඳපොල ඒකාධිකාරියක් ඇති කර මිල ඉහළ නැංවීමට ඇති සැලසුම අකුලා ගන්නා ලෙස ද,
- විවෘත හා තරඟකාරී පදනමකින් ප්‍රමිතියකින් යුතු දිලීර, වල් හා කෘමි නාශක ආනයනය, බෙදාහැරීම හා අලෙවියට අවස්ථාව සලසන ලෙස ද, මේ රටේ ජනගහනයෙන් 30% ක් වන කෘෂිකර්මාන්තයේ නිරත පිරිස වෙනුවෙන් ඉල්ලන බව ද, කවිරත්න මහත්මිය ගේ ලිපියේ දැක්වේ.