මාස 7ක් තිස්සේ චීනය පුරා ඉබාගාතේ ගිය’ ‘ආසියානු අලි රැලේ කතාව’

මාස 7ක් තිස්සේ චීනය පුරා ඉබාගාතේ ගිය’ ‘ආසියානු අලි රැලේ කතාව’
Spread the love

ලංකාවේ වනඅලි – මිනිස් ගැටුම නොවිසදෙන ගැටලුවක්. එයින් වනඅලි වගේම මිනිස් ජීවිත, විශේෂයෙන්ම ගොවීන්ගේ ජීවිත අනතුරට ලක්වෙනවා. ඒ වගේම බවභෝගත් විශාල වශයෙන් විනාශ වෙනවා.

ඒත් අපි මේ කියන්න යන්නේ වනඅලි – මිනිස් ගැටුමේ අලුත්ම කතාවක්. මුළු ලෝකයේම, විශේෂඥයින්ගේ වගේම මාධ්‍යවල දැඩි අවධානය දිනාගත් කතාවක්. ඇතැම් විට මේ කතාව ඔබ මේ වන විටත් අසා ඇති. නමුත් එය සම්පූර්ණයෙන්ම කියවා නැති බව අපට විශ්වාසයි.

මේ අලි කතාව ඇසෙන්නේ චීනයෙන්. චීනය ගැන කතා වෙන කොට අපිට මතක් වෙන්නේ යෝධ පැන්ඩා. අලි ගැන කතාවක් නැති තරම්. ඒ නිසාම වෙන්න ඇති මුළු ලෝකයේම අවධානය මේ ගැන යොමු වුණේ.

පසුගිය මාස 17 ක කාලය තුළ චීනයේ ඉබාගාතේ ඇවිදිමින් සිටි අලි රංචුව යළිත් සිය උපන් ගම්බිම්වලට පැමිණෙමින් සිටින බව පසුගිය දා චීන ජනමාධ්‍ය වාර්තා කළා. සිය ස්වාභාවික රක්‍ෂිතයේ සිට කිලෝමීටර් සිය ගණනක් ඈතට ගිය පසු ඔවුන් යළි සිය උපන් බිමට යන ගමනේ අවසාන පියවරේ සිටින බවයි චීන නිලධාරීන් පසුගිය දා නිවේදනය කළේ.

ගම්වාසීන්ගේ නිවෙස් වලට කඩා වැදීමේ සිට පාරේ යන විට දරු ප්‍රසූතිය සිදු කිරීම දක්වා මහත් වික්‍රමයන් රැසක් සිදු කළ මෙම අලි රංචුව නැවත තම උපන් බිමට යන කතාව දැන් කියවමු.

උපන්බිම අතහැර දැමීම

දකුණු යුනාන් ප්‍රාන්තයේ පහළ කෙලවරේ පිහිටා ඇති ෂිෂුවාංබාන්නා ජාතික ස්වභාව රක්ෂිතය (Xishuangbanna National Nature Reserve) මියන්මාරයේ සහ ලාඕසයේ මායිම අසලයි පිහිටා තිබෙන්නේ. එය හෙක්ටයාර 241,000 ක් පමණ විහිදෙන සශ්‍රීක නිවර්තන වනාන්තරයක්. එහි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ආසියානු අලි ඇතුන්ගෙන් වැඩි ප්‍රමාණයක් වාසය කරනවා.

2020 මාර්තු මාසයේ එක්තරා දිනක අලි 14 දෙනෙකුගෙන් යුත් රංචුවක් උතුර බලා යන ඒ විස්මිත ගමන ආරම්භ කළා. මුලදී කිසිවෙකු මේ ගැන අවධානය යොමු කළේ නැහැ. මොකද ඔවුන් මේ වන අලි කලාපයේ නිදහසේ සැරසරන බව කවුරුත් දැන සිටියා. එය කොතරම් සුලභ සහ ජනප්‍රිය කතාවක් ද කිවහොත් වන රක්ෂිතයට සමීප නගරයක් වන පුවේර් ඔවුන්ගේ විශාල අමුත්තන් පෝෂණය කිරීම වෙනුවෙන්ම ‘අලි ආපනශාලාවක්‘ ද පවත්වා ගෙන ගියා.

මෙම සද්ධන්තයින්ගෙන් බොහෝ දෙනෙක් වැඩි ඈතක නොයන අතර සාමාන්‍යයෙන් ටික වේලාවකට පසු යළි වන රක්ෂිතයට යනවා. නමුත් රංචුව වන රක්ෂිතයෙන් එළියට ගොස් මාස කිහිපයකට පසු මෙය සාමාන්‍ය ගමනක් නොවන බව නිලධාරින්ට වැටහෙන්න පටන් ගත්තා.

මෙම අවබෝධය මේ වසර මුලදී ඇත්ත වශයෙන්ම දැනුනේ අලි ඇතුන් මිනිසුන්ගේ නිවෙස්වලට කඩා වැදී ඔවුන්ගේ වගාවන් ආහාරයට ගනිමින් මහත් විනාශයක් කරමින් සිටින බවට වාර්තා වීමත් සමඟයි. මීට සමගාමීව අලි ඇතුන් විවිධ නගර වල වීදි වල සැරිසරන අයුරු දැක්වෙන සීසීටීවී දර්ශන ද සමාජ මාධ්‍යවල වෛරස් වුණා.

මේ වන විටත් විශේෂඥයින් ඔවුන්ගේ හැසිරීම් රටාව ගැන නොසන්සුන් වී සිටියා. නමුත් (Conservation Letters journal හි ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට නියමිත පත්‍රිකාවක) හේතු කිහිපයක් නිසා වැඩිපුර ආහාර සෙවීම සඳහා අලි පිටත්ව ගිය බව මහාචාර්ය අහිම්සා කැම්පෝස්-අර්සෙයිස්ගේ නායකත්වයෙන් යුත් චීනය පදනම් කරගත් විශේෂඥ කණ්ඩායමක් ප්‍රකාශ කළා.

එම හේතු අතර වඩාත් අවධානයට ලක් වූ එකක් නම් ෂිෂුවාංබාන්නා ජාතික ස්වභාව රක්ෂිතය තුළ අලි ගහනය වැඩිවීමයි. ඒ නිසා ආහාර සඳහා වැඩි තරඟයක් ඇති වී තිබෙනවා. චීන බලධාරීන්ගේ සංරක්‍ෂණ ප්‍රයත්නයට ස්තූතිවන්ත වන්නට, පසුගිය දශක තුනක කාලය තුළ පළාතේ අලි ගහනය 300 කට ආසන්න සංඛ්‍යාවක් දක්වා දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා.

“මෙම සාර්ථකත්වයේ ප්‍රතිවිපාක සමඟ අපි දැන් කටයුතු කළ යුතු අතර එය සැබෑ අභියෝගයක්. මෙම පළාතේ ඇති වූ සීඝ්‍ර සංවර්ධනය සමග අලි ඇතුන්ට සංචරණය කිරීමට අවශ්‍ය භෞතික අවකාශය සීමා වී තිබෙනවා‘” මහාචාර්ය කැම්පෝස්-අර්සෙයිස් පැවසුවා.

ඒ සමග පසුගිය වසර තුළ දීර්ඝ කාලයක් පැවති නියඟය හේතුවෙන් ආහාර හිඟයක් ද ඇති වුණා. එය වන සංරක්ෂිතයේ අලි ඇතුන්ට වඩාත් අහිතකර ලෙස බලපෑවා.

දශක ගණනාවක් තිස්සේ වනාන්තර විනාශ කිරීම සහ ගොවි බිම් පුළුල් කිරීම හේතුවෙන් ආරක්ෂිත ප්‍රදේශවලින් පිටත චීනයේ අලි වාසස්ථාන අඩුවී ඇති බවත් මේ සමග හෙළි වුණා.

වන ආරක්‍ෂාව ඉහළ නැංවීමට බලධාරීන් උත්සාහ කළා.

‘‘වන ගහනය හීන වීම සමග අලි ඇතුන්ට ලබා ගත හැකි ආහාර ප්‍රමාණය විශාල වශයෙන් අඩු වුණා. ඒ සමග ඝන වනාන්තරවල යටි රෝපණය විනාශ වුණා. එය ඍජුව අලින්ගේ ආහාර හිගයට හේතුවක් වුණා‘‘ මහාචාර්ය කැම්පෝස්-අර්සෙයිස් පැවසුවා.

දැවැන්ත කාර්යය

මෙම රංචුව යුනාන්හි හරිත කඳු සහ වනාන්තර හරහා උතුර දෙසට ගමන් කරන විට චීන නිලධාරීන් වහාම ක්‍රියාත්මක වුණා. අලි ගම්මාන හා නගර වලින් ඈත් කිරීම සඳහා දහස් ගණන් කණ්ඩායමක් යොදවා හදිසි කාර්ය සාධක බලකායක් ස්ථාපිත කළා.

ආසියානු අලියා
  • 150,000ක් මිනිසුන් නිවෙස් වලින් ඉවත් කර ඇත
  • ඇස්තමේන්තු ගත හානිය ඩොලර් මිලියනයක්
  • ඩ්‍රෝන් යානා 973ක් නිරීක්ෂණයට යොදවා තිබුණා.
  • 25,000ක කාර්ය මණ්ඩලයක් යොදවා ඇත

මූලාශ්‍රය: යුනාන් නිලධාරීන්

අලි ඇතුන් අධික ලෙස ගන්නවා. මේ වන විටත් ඔවුන් ඉරිඟු, කෙසෙල්, අන්නාසි සහ වෙනත් ආහාර ටොන් 180ක් පමණ විනාශ කර තිබෙනවා. ඒ අතර වාහන සහ නිවාස හානි කිහිපයක් ද වාර්තා වුණා.

මඩ ස්නානය කරන වල් අලි
අලි කිහිප දෙනකු මඩ නාන ආකාරය ඩ්‍රෝන යානා මගින් රූගත කළා
වන අලි ගැටෙයි
අලි පැටවුන් දෙදෙනකු අතර ගැටුමක්

පසුගිය අප්‍රේල් මාසයේදී අලි දෙදෙනෙකු ආපසු ගෙදර යාමට තීරණය කළා. ජුනි මාසයේදී තවත් අයෙකු රංචුවෙන් ඉවත්ව ගිය අතර බලධාරීන් ඔහුව යළි රක්ෂිතයට යොමු කළා.

මහාචාර්ය කැම්පෝස්-අර්සෙයිස්ට අනුව, මෙම වික්‍රමාන්තික සංචාරය අතර තුර නව සාමාජිකයින් දෙදෙනකු ද රංචුවට එක් වුණා.

මේ කාලය පුරාවටම චීනයේ ජනතාව මේ විස්මිත සංචාරය දෙස ඇස් යොමා බලා සිටියා. යුනාන් හි ආසියාතික අලි ඇතුන්ගේ වික්‍රමාන්විතයන් ජාතික ප්‍රවෘත්ති බවට පත් වූ අතර ගම්වාසීන් තමන්ට සිදුවන අලාභය නොතකා ඔවුන්ව සාදරයෙන් පිළිගත්තා.

සෑම චලනයක්ම ඩ්‍රෝන් යානා මගින් පමණක් නොව විශේෂඥයින් විසින් දැඩිව අධීක්ෂණය කළා.

මේ සමග අලි ගැන කටකතා ද පැතිරුණා. ඉරිඟු වයින් ටොන් ගණනක් පානය කිරීමෙන් පසු ‘වෙරි වී‘ සිටි බවට කතා පැතිරුණා. පසුව ඒවා විශේෂඥයින් විසින් ප්‍රතික්ෂේප කළා.

ජුනි මස මුල වන විට, රංචුව ප්‍රාන්ත අගනුවර වන කුන්මින් වෙත ළඟා වුණා. එය වන රක්ෂිතයේ සිට කිලෝ මීටර 500ක දුරක්. යුන්නාන් වන අලියෙකු මෙතෙක් දුර ගමන්කර නැති බව විශේෂඥයින් පැවසුවා.

සමහරු ඔවුන් සිසිල් දේශගුණයක් කරා යන විටත්, මානව ශිෂ්ඨාචාරය සමඟ ඔවුන්ගේ අන්තර් ක්‍රියාකාරිත්වය දිග්ගැස්සෙන විටත් සිය පැවැත්ම ගැන කරදර වීමට පටන් ගත්තා.

මේ සමග සංචාරක අලි ඇතුන් දැඩි මානසික ආතතියකින් පෙළෙන බව විශේෂඥයින්ට නිරීක්ෂණය වුණා.

‘ඔවුන් දැඩි මානසික හා කායික ආතතියකට පත්ව සිටිනවා‘ ඔවුන් පැවසුවා.

මාස කිහිපයකට පසු නිලධාරින්ට සහනයක් ලබා දෙමින් සති කිහිපයකට පසු අලි දකුණ දෙසට හැරෙන්නට පටන් ගත් අතර වැඩි කල් නොගොස් යුවාන්ජියැං ගඟ අසලට පැමිණියා. බලධාරීන් පැවසුවේ රංචුවට ගග තරණය කිරීමට හැකි එක් පාළමක් ඇති බවයි.

අලි ඇතුන්ව ආකර්ෂණය කර ගැනීම සඳහා ආහාර තැබීම, විදුලි වැටවල් සකස් කිරීම, කෘතිම මංතීරු සෑදීම සහ පාරට ජලය ඉසීම සඳහා දහස් ගණන් සෙබළුන් හා සේවකයින් කාර්ය සාධක බළකායෙන් මෙම ප්‍රදේශයට පැමිණියා. නමුත් සතුන් මිනිසුන්ගේ මග අනුගමනය කිරීමට අකමැති වුණා. ඔවුන් යළි දීර්ඝ දුරක් ගෙවා ගග තරණය කළා.

අන්තිමේදී අගෝස්තු 8 වෙනිදා රංචුව යුවාංජියෑං ගඟ හරහා ඉදිකර ඇති පාලම හරහා ගමන් කළා. ෂිෂුවාංබන්න ස්වාභාවික රක්ෂිතයට ඔවුන් තවමත් කි.මී 200ක් ඈතින් සිටියද, ප්‍රාදේශීය මාධ්‍ එයය ඔවුන්ගේ ගමනේ අවසාන පියවර ලෙස විස්තර කළා.

ඔවුන් ආපසු නිස උපන් බිමට යන බව තහවුරු වී නැතත්. ස්වාභාවික රක්‍ෂිතයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවෙකු වන ෂෙන් කිංෂොං වාර්තාකරුවන්ට පැවසුවේ “අලි නැවත උතුරට යාමට පටන් ගන්නා බව බොහෝ දුරට විශ්වාස‘ බවයි.

අලි ඇතුන් යළි ස්වභාවික රක්ෂිතයට යොමු කිරීම සඳහා යුවාන් මිලියන ගණනක් වැය කිරීමෙන් පසු බලධාරීන් පොරොන්දු වූයේ “එක්සත් ආරක්‍ෂක කළමනාකරණ පද්ධතියක්” ස්ථාපිත කරන බවත් වාසස්ථාන ආරක්‍ෂාව හා ප්‍රතිසංස්කරණය වැඩි කරන බවයි. ආසියානු අලි ඇතුන් සඳහා ජාතික වනෝද්‍යානයක් නිර්මාණය කිරීමේ සැලසුම් ද වේගවත් කර තිබෙනවා.

නමුත් නැවත පැමිණීම ප්‍රමාද වුවද, ඔවුන් වඳවීමේ තර්ජනයට ලක් වී ඇති සත්ත්ව විශේෂයන් පිළිබඳ ගෝලීය දැනුවත්භාවය ඇති කරවමින් මහා ගමනක් ආරම්භ කරමින් කළ නොහැකි දේ අත්කර ගත්තා. දේශගුණික විපර්යාස, මානව සංවර්ධනය මේ ස්වභාවික පරිසරය සහ එහි හිමිකරුවන්ට උරුමකර දී ඇති ඛේදවාචකය ගැන ඔවුන් ගෝලීය අවධානය යොමු කළා.

අලි ඇතුන්ගේ වික්‍රමාන්විත සංචාරයේ ගමන්මග

2021 අගෝස්තු 8 වන විට, අලි ඇතුන් ගමන් කරන චීනයේ සිතියම

බී.බී.සී වාර්තාවකි – සැකසුම – තීක්ෂණ වෙළෙන්එගොඩ