මුල් පෙළ පිතිකරුවන් යළි අසාර්ථක වෙයි – ශ්‍රී ලංකාවට බංග්ලාදේශය හමුවේ තියුණු පරාජයක්

මුල් පෙළ පිතිකරුවන් යළි අසාර්ථක වෙයි – ශ්‍රී ලංකාවට බංග්ලාදේශය හමුවේ තියුණු පරාජයක්
Spread the love

ජයග්‍රහණය සඳහා ලකුණු 258 ක ඉලක්කයක් හඹා යෑමේදී පිතිකරුවන් සිව් දෙනෙකු ලකුණු 30 ක් ඇතුළත දවා ගැනීමට මෙහෙදි හසන් සමත්වීම හේතුවෙන් සත්කාරක බංග්ලාදේශ පිලට එරෙහිව අද (23 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 33 ක පරාජයක් අත්වින්දේය. ඒ අනුව තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 1-0 ක් ලෙස බංග්ලාදේශ පිල පෙරමුණ ගත්තා පමණක් නොව ලෝක කුසලාන සුපිරි ලීගයටට අදාළ ලකුණු මල්ලට තවත් ලකුණු 10 ක් එකතු කරගැනීමටද සමත්වූවේය.

නායක සහ උපනායක කුසල්ලාගේ කඩුලු ඇතුළු ඉදිරි පෙළ කඩුලු 6 ක් ලකුණු 102 කදී දැවී ගොස් අසීරුතාවයට පත්ව සිටියදී අංක 8 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි වනිඳු හසරංග ශ්‍රී ලංකාවට යම් කිසි අස් වැසිල්ලක් ගෙන ආවේය. ප්‍රමාදව පැමිණියත් අවශ්‍ය අවස්ථාවේදී ක්‍රියාත්මක වුණු වනිඳු හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමඟින් පන්දු 60 කදී  වේගවත් ලකුණු 74 ක් රැස් කිරීමට සමත්වීමත් සමඟ යළිත් තරගය පිළිබඳව බලාපොරොත්තු රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.

පිටියට පිවිසි අවස්ථාවේදී දසුන් ශානකට එක්වූ වනිඳු පෙරමුණ බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනංවමින් පන්දුවට පහර දෙමින් ඉනිම ගොඩනංවමින් සිටියදී දසුන් ලකුණු 14 කට දැවී ගියේය. එතැන් පටන් වනිඳුට එක්වූ ඉසුරු උදාන ශ්‍රී ලංකා කණ්ඩායමේ බර කරට ගත්හ. මුලු ලකුණු සංඛ්‍යාව 211 ක් වන තෙක් රැගෙන ආ මොවුන් දෙපළ පිට පිට පන්දු දෙකකදී දැවී නොයන්නට ඇතැම් විට තරගයේ ඉරණම මීට වඩා ශ්‍රී ලංකාවට වාසි දායක වන්නට ඉඩ තිබිණ.

පිටියට පිවිසි අවස්ථාවේ සිට බංග්ලාදේශ පන්දු යවන්නන්ට කිසිදු නිදහසක් ලබා නොදුන් වනිඳු පිටිය සිසාරා පහරවල් එල්ල කරද්දී වැඩි වාසි ශ්‍රී ලංකාව දෙසට දෝලනයවිය. මොහොමඩ් සෆියුඩීන් යවන ලද 44 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවටත් මුස්තෆිසූර් රෙහ්මාන් යවන ලද 45 වැනි පන්දුවාරයේ පළමු පන්දුවටත් පිළිවෙළින් වනිඳු හස ඉසුරු දැවී යන විට ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අවශ්‍යව පැවැතියේ ලකුණු 47 ක් පමණක් බැවින් වනිඳුගේ උත්සාහයට නිසි වටිනාකමක් නොලැබිණ.

කෙටි පන්දුවකට එල්ල කරන ලද පුල් පහර මිඩ් විකට් කළාපයේ පන්දු රැකි අෆීෆ් හොසේන්ගේ දෑත් අතර සිරවීමෙන් වනිඳුද මෙහෙදි හසන්ගේ විසින් උඩ පන්දුවක් රැක ගැනීම නිසා ඉසුරු උදාන ලකුණු 21 කට දැවී ගියේය.

බංග්ලාදේශ පන්දු යවන්නන් අතරින් මෙහෙදි හසන්ට අමතරව හොඳ රිද්මයකින් පන්දු යැවූ මුස්තෆිසූර් රෙහ්මාන් ලකුණු 34 කට කඩුලු 3 ක්ද මොහොමඩ් සයිෆුඩීන් ලකුණු 49 කට කඩුලු 2 ක්ද දවා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

බංග්ලාදේශ පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමේදී ධනංජය ද සිල්වාගේ ලකුණු 45 කට කඩුලු 3 ක් දක්ෂ පන්දු යැවීම කැපී පෙනිණ. කාසියේ වාසියත් සමග ඉනිම ඇරැඹි බංග්ලාදේශ කණ්ඩායම 23 වැනි පන්දුවාරය අවසන් පන්දු 2 දී ටමීම් ඉක්බාල් සහ මොහොමඩ් මිතුන්ගේ කඩුලු දවා ගනිමින් පීඩනය තර කිරීමට ධනංජය ද සිල්වා සමත්විය. එම කඩුලු දවා ගැනීමත් සමඟ එතෙක් වෙලා කඩුලු 2 කට ලකුණු 99 ක් ව තිබූ බංග්ලාදේශ ඉනිම ලකුණු 99 කට කඩුලු 4 ක් බවට පත්විය.

අනතුරුව පිටියට පිවිසි මහමුදුල්ලා සහ මුෂ්ෆිකර් රහීම් ආරම්භය බිඳ වැටුණු බංග්ලාදේශයට ජීවය එක් කරන ලද්දේ අර්ධශතක වාර්තා කරගනිමිනි. පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුණු එම අර්ධ ශතක සම්බන්ධතාවයේදී ලකුණු 109 ක් බංග්ලාදේශ පිලට එක් විය. ඒ අතරින් වැඩිම ලකුණු ලාභියා වූ මුෂ්ෆිකර් රහීම් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමඟින් පන්දු 87 කදී ලකුණු 84 ක් රැස් කරගත්තේය. ලක්ෂාන් සඳකැන්ට එරෙහිව රිවර් ස්වීප් පහරක් එල්ල කිරීමට යෑමේදී එය කවර් පොයින්ට්හි පන්දු රැකි ඉසුරු උදාන රැක ගැනීම නිසා ශතකයක් කරා යෑමට තිබූ පහසුම අවස්ථාව මඟ හැර දමා 40 වැනි අර්ධ ශතකයෙන් සෑහීමකට පත්වීමට රහීම්ට සිදුවිය.

රහීම්ට අනගි සහායක් ලබා දුන් මහමුදුල්ලා අද එක්දින තරග දිවියේ 16 වැනි අර්ධ ශතකය රැස් කර ගත්තේය. ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන් සිය ග්‍රහණය තර කරමින් පන්දු යැවීම නිසා අදාළ සම්බන්ධතාවය අතරතුර මෙම පිතිකරුවන් දෙදෙනා එල්ල කරන ලද්දේ හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් වීම කැපී පෙනුණි.

ඔවුන් දෙදෙනාගේ ඉනිමට අමතරව ටමීම් ඉක්බාල් විසින් රැස් කරන ලද ලකුණු 52 ත්,7 වැනි කඩුල්ල වෙනුවෙන් අෆීෆ් හොසේන් සහ මොහොමඩ් සයිෆුදීන් පන්දු 17 කදී රැස් කරන ලද නොබිඳුණු ලකුණු 27 ක සම්බන්ධතාවයත් හේතුවෙන් ලකුණු 258 ක ඉලක්කයක් ශ්‍රී ලංකාව වෙත ලබා දීමට සත්කාරකයින්ට අවස්ථාව උදාවිය.

පන්දු යැවීමේදී ධනංජය ද සිල්වාට අමතරව දඟ පන්දු යවන්නන් වුණු ලක්ෂාන් සඳකැන් සහ ධනුෂ්ක ගුණතිලක කඩුල්ල බැගින් දවා ගත්හ. වනිඳු හසරංගට කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් සිය පන්දුවාර 10 ලකුණු 48 ක් පමණක් ලබා දී අවසන් කිරීමට හේ සමත්විය. දඟ පන්දු යවන්නන්ට ආරක්ෂාකාරී පිළවෙළක් අනුගමනය කළ රහීම් – මහමුදුල්ලා යුගලය 43 වැනි පන්දුවාරය වන විට ලකුණු 199 ක් දක්වා ඉහළ දැමීමට සමත්වූයේ අවසන් පන්දුවාර 8 තුළදී වේගයෙන් පන්දුවට පහර දිය හැකි වන තරමට අවශ්‍ය කඩුලු සංඛ්‍යාව ලකුණු පුවරුවේ ඉතිරි කර ගනිමිනි.

Text by sl cricket