යසිරු ඇප මත නිදහස් කරයි

යසිරු ඇප මත නිදහස් කරයි
Spread the love

“ජනාධිපති  ලේකම් කාර්යාලය ඇතුළු රජයේ ආයතනවල වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක්” යනුවෙන් අසත්‍ය පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී යසිරු කුරුවිටගේ නැමැත්තා රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැර තිබේ.

ඒ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික.සී රාගල මහතා නියෝගය මතය.

ඇප නියෝගය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සඳහන් කළේ, පුද්ගලයෙකුට භාෂණයේ නිදහස තිබුණද ඊට ද සීමා පවතින බවය.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපතිවරයා ලෙස පෙනී සිටිමින් අදාළ තරුණයා එම පුවත පළ කර තිබුණි.

නඩුව නැවත ජුලි මස 01 වනදා කැඳවීමට ද නියම විය.

භාෂණයේ නිදහස උපයෝගී කර ගනිමින් අසත්‍ය සහ මහජනයා නොමග යවන සුළු ප්‍රකාශ පළකිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා රජයේ හා රාජ්‍ය ආයතනවල කටයුතු අකර්මණ්‍ය කරන ආකාරයෙන් ක්‍රියාකිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වා දුන්නේය.

එබැවින් මින්මතුවට මේ ආකාරයෙන් කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව මෙහිදී මහෙස්ත්‍රාත්වරයා සැකකරුට අවවාද කළේය.

එම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළේය.

එම ඇප ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විරෝධය පළ කර සිටියේය.

සැකකරු අන්තර්ජාලය හරහා පළ කර ඇති පුවත මඟින් මෙරට ආර්ථිකය අකර්මණ්‍ය කොට රජය අපහසුතාවයට පත්කිරීමේ උත්සාහයක් තිබුණේ දැයි සැක මතු වී තිබෙන හෙයින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් සැකකරු ඇප මත මුදා හරිනු ලැබූවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි බවත් මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික. සී රාගල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රශ්නයක් යොමු කරමින් එම සැකකරු නඩුවට පාදක වන රජයේ ආයතනවල වෙබ් අඩවි තුළට අනවසර ආකාරයෙන් ඇතුළු වී තිබීම හෝ ඒවායේ මුර පද අවභාවිතා කිරීම සිදුකර තිබේ දැයි ප්‍රශ්න කර සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ,  විමර්ශනවලදී එවැනි කරුණක් අනාවරණය වී නොමැති බවය.

එසේ නම් පරිගණක අපරාධ පනතේ 6, 10 සහ 12 වගන්තිය යටතේ සැකකරුට එරෙහිව විමර්ශන සිදුකරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා විමර්ශනවලට අදාළ නොවන වගන්ති ඇතුළත් කිරීම තුළින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නඩුව නිසි ලෙස පවත්වාගෙන යාමට පවා අසීරු වනු ඇති බව කියා සිටියේය.

ඒ අනුව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ඉදිරිපත් වී ඇති කරුණු පිරික්සීමේ දී පරිගණක අපරාධ පනත යටතේ එම සැකකරු වරදක් සිදුකර ඇති බවට බැලූ බැල්මටම කරුණු අනාවරණය නොවන බවය.

එමෙන්ම කිසියම් වරදක් අනාවරණය කර ගන්නා තුරු සැකකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කළ නොහැකි බව පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා ඒ අනුව අදාළ සැකකරු රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදාහැරීමට නියම කළේය.

–අද දෙරණ–