යුගදනවි පෙත්සම් විභාගය : ‘උදය – විමල් – වාසු ගොනු කළ පෙත්සම් ව්‍යවස්ථා විරෝධීයි – නීතිපති

යුගදනවි පෙත්සම් විභාගය : ‘උදය – විමල් – වාසු ගොනු කළ පෙත්සම් ව්‍යවස්ථා විරෝධීයි – නීතිපති
Spread the love

කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ  රජයට අයත් 40%ක කොටස්  නිව් ෆෝට්‍රස් එනර්ජි නැමැති ඇමෙරිකානු  සමාගමකට ලබා දීමට කැබිනට්  මණ්ඩලය  ගෙන ඇති තීරණය බලරහිත  කරන්නැයි  ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට පක්ෂව විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන කැබිනට් අමාත්‍යවරුන් තිදෙනා විසින් ලබා දුන් දිවුරුම් ප්‍රකාශ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී යැයි ද එලෙස අමාත්‍යවරුන් තිදෙනා දිවුරුම් ප්‍රකාශ ලබා දීම නීතියට ද පටහැනි යැයි ද නීතිපති සංජය රාජරත්නම් මහතා අද ( 17) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කියා සිටියේය.

අගවිනිසුරු  ජයන්ත ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් ,  විනිසුරුවරුන් වන බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, එල්. ටී.බී.දෙහිදෙනිය  යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලේ.

අගරදගුරු මැල්කම් කාදිනල්  රංජිත්  හිමිපාණන් සහ ධර්මායතනාධිපති පූජ්‍ය  ඇල්ලේ ගුණවංශ හිමියන්,  සමගි ජන බලවේගයේ  මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ,  වසන්ත සමරසිංහ සහ ලංකා විදුලි සේවකයන්ගේ සංගමයේ  ලේකම් රන්ජන් ජයලාල්  යන මහත්වරුන් විසින් මෙම පෙත්සම්  ගොනු කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු  කැබිනට් මණ්ඩලය, භාණ්ඩාගාර ලේකම් වරයා, බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා, මහජන උපයෝගිතා කොමිසම, එහි සභාපතිවරයා, ලංකා විදුලි බල මණ්ඩලය,  එහි සභාපතිවරයා, ලංකා  ඛනිජ තෙල් සංස්ථාව,  එහි කලමණාකරණ අධ්‍යක්ෂවරයා,වෙස්ට් කෝස් පවර් පෞද්ගලික සමාගම,  ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි   සමාගම  නීතිපති වරයා  ඇතුළු  54දෙනෙකු  මෙහි  වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල , විමල් වීරවංශ , වාසුදේව නානායක්කාර ඉකුත් 07 වැනිදා  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම් වලට පක්ෂව වි⁣රෝධතා කරනු ලැබූහ.

එම පෙත්සම්වල වගඋත්තරකරුවන් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටියද එම අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරු වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු වන ජනාධිපති නීතීඥ උදිත ඉගළහේවා මහතා පෙනී සිටීම විශේෂත්වයකි.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ පිළිබද වැඩිදුර විභාගය ලබන ජනවාරි 11,12,13 යන තෙදින දක්වා කල් තැබීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  මඩුල්ල අද (17) තීරණය කළේය