රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්

රටේ වත්මන් තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්
Spread the love

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම හෙට (ජූනි 08 වැනිදා) පමණක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය.

ඒ අනුව හෙට (08) වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 4.30 දක්වා පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

හෙට පෙරවරු 10.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ 2020 අංක 6 දරන විසර්ජන පනතේ  8 වැනි වගන්තිය යටතේ යෝජනා හා ආනයන අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි විවාදයට ගැනීමට නියමිතය.

එදින මධ්‍යහ්න 12.00 සිට පස්වරු 4.30 දක්වා  විපක්ෂය විසින් ගෙන එනු ලබන රටේ පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත බවද දසනායක මහතා කීවේය.

එදින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාචික ප්‍රශ්න විමසීම සඳහා කාලය වෙන් නොකෙරෙන අතර දිවා ආහාරය සඳහා සභාව කල් තැබිමක්ද සිදු නොවන බවද මහ ලේකම්වරයා පැවසීය.