‘රට ලොක්ඩවුන් කරන ලෙස මෙතෙක් විශේෂඥ නිර්දේශ ලැබී නෑ – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන

‘රට ලොක්ඩවුන් කරන ලෙස මෙතෙක් විශේෂඥ නිර්දේශ ලැබී නෑ – රාජ්‍ය ඇමැති චන්න ජයසුමන
Spread the love

කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍යවරුන් මෙතෙක් නිර්දේශ කර නොමැති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

අද (15) අනුරාධපුරයේදී මාධ්‍ය හමුවේ වත්මන් තත්ත්වය පිළිබද කරුණු පැහැදිලි කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේෙ රට ලොක්ඩවුන් කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ නම් එය සිදුකිරීමට රජය සූදානම් බවයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජය විසින් සියලු තීන්දු තීරණ ගනු ලබන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බවයි.

“වසංගත රෝග විද්‍යා ඒකකය තියෙනවා. කොවිඩ් සම්බන්ධයෙන් ජනාධිපති කාර්ය සාධන බළකායක් තියෙනවා. ඒ වගේම ඊට පරිබාහිරව කටයුතු කරන විවිධ අධ්‍යයන ආයතන, වෘත්තීය සමිති ගණනාවක් තියෙනවා. ඔවුන් අපිට නිල වශයෙන් දෙන උපදෙස් හා නිර්දේශ ක්‍රියාත්මක කරන්න අපි බැඳී සිටිනවා. හැබැයි දේශපාලන බලවේගවල බළල් අත් හැටියට වැඩකරන ඇතැම් පුද්ගලයෝ ඉන්නවා. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ ආණ්ඩුව පෙරළන්න. ඒ පහත් උත්සාහය සඳහා කිසිවිටෙකත් ඉඩ දෙන්නේ නැහැ.

රට වහන්න සෞඛ්‍ය අංශවලින් නිල වශයෙන් අපිට උපදෙස්, නිර්දේශ ලැබෙනවා නම් එය ක්‍රියාවට නංවන්න අපි කිසිසේත් පැකිලෙන්නේ නෑ. ඒ වගේම එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවන්වෙන මිනිස්සුන්ටත් ක්‍රමවේදයක් තියෙන්න ඕනේ.”

මේ අතර කොවිඩ් වසංගතය හමුවේ ස්වයං සංචරණ සීමා පනවා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසීය.