රනිල්ගෙන් ආණ්ඩුවට සැර දෝෂාරෝපණයක් සමග පැහැදිලි මග පෙන්වීමක්

රනිල්ගෙන් ආණ්ඩුවට සැර දෝෂාරෝපණයක් සමග පැහැදිලි මග පෙන්වීමක්
Spread the love

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදයට ඇති ඒකම විකල්පය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නැවත වරක් සාකච්ඡා ආරම්භ කිරීම බවත් විකල්පයක් නැතුව සංඛ්‍යාලේඛන කතා කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් අත් නොවන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. 

මෙහිදී වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය ගැන සිය අදහස් ප්‍රකාශ කළ වික්‍රමසිංහ මහතා මෙම ආර්ථික අර්බුදයට මුලික හේතුව පවතින කොවිඩ් තත්ත්වය බවත්, ඒ සඳහා කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවත් සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද (23) උදෑසන කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දීමෙන් පසුව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රකාශයකට අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසුවේය.

“2019 මේ රටේ විදේශ විනිමය සංචිතය තිබුණේ ඩොලර් කෝටි 700යි. අද ඩොලර් කෝටි 400කට අඩුවෙලා තියෙන්නේ. මීට අමතරව තෙල් සංස්ථාවේ තියෙන ණය කෝටි 300 ක් විතර. මේක අපේ සංඛ්‍යාලේඛනවලට ඒන්නේ නැහැ. අනික බලන්න හදිසියේ ගන්න තියෙන්නේ වාණිජ බැංකු. වාණිජ බැංකුවල අද ණය තියෙනවා. මේ ඒකක්වත් සංඛ්‍යාලේඛනයේ නැහැ. අද මේක අපේ රටට බලපානවා. මේ මාසය අවසන් වෙද්දී අපි ඩොලර් කෝටි 100 ක ණය ගෙවන්න සිදුවෙලා තියෙනවා. තවත් තියෙයි කෝටි 200 ක් විතර ගෙවන්න. අපි කොහොමද මේවා ගෙවන්නේ? අපි බලාපොරොත්තු වෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෝටි 78 ක් ලැබෙයි කියලා. ඒක මේ අවුරුද්දේ ලැබෙයි ද, ඒන අවුරුද්දේ ලැබෙයි ද අපි දන්නේ නැහැ. ඒක ලැබෙනවා. ඊළඟට swap ඒකෙන් කෝටි 40ක් විතර ලැබෙනවා. බංග්ලාදේශයෙන් කෝටි 20 ක් ලැබෙනවා. මේකෙන් කොහොමද අපි මේ වැඩකටයුත්ත කරගෙන යන්නේ?”

“මෙතන තියෙන්නේ අතීතය ගැන කතාකරන්න නෙමෙයි. අපි කතාකරන්න ඔනේ මේකෙන් අපි ගොඩඑන්නේ කොහොමද, අපි කොහොමද විසඳුමක් හොයන්නේ. අපිට යම්කිසි විසඳුම්ක් සැලසුමක් තියෙන්නේ ඕනෑ. ආණ්ඩුව ඒක ඉදිරිපත් කරලා නැහැ. මම කියන්නේ අපිට තියෙන ඒකම මාර්ගය IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ආපහු ගනුදෙනු කරන්න. ඔබතුමන්ලා ඒකඟ නැත්නම් ඒ විකල්පය මොකක්ද කියලා අපිට කියන්න. විකල්පයක් නැතුව සංඛ්‍යාලේඛන කතා කරන ඒකේ අපිට කිසිම ප්‍රයෝජනයක් නැහැ.”

මෙම ආර්ථික අර්බුදයට මුලික හේතුව පවතින කොවිඩ් තත්ත්වය බවත්, ඒ සඳහා කාර්ය සාධක බළකාය සම්පූර්ණයෙන් අසාර්ථක වී ඇති බවත් එජාප නායකයා සඳහන් කළේය.

‘‘මේ කාර්ය සාධක බළකායට ඉදිරියට යන්න බෑ. අසාර්ථ වෙලා තියෙන්නේ. හැමදේම වැඩිවෙලා තියෙන්නේ. අපේ ව්‍යවස්ථාව අනුව මේ වගකීම තියෙන්න ඕනේ කැබිනට් මණ්ඩලයටයි. කැබිනට් මණ්ඩලය වගකියන පාර්ලිමේන්තුවටයි. ඇයි කැබිනට් මණ්ඩලයට මේ බලතළ දෙන්නේ නැත්තේ. ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුව පාලනය කරන්න පුළුවන් කැබිනට් මණ්ඩලයට විතරයි. අගමැතිතුමා මෙතෙන ඉන්නවා ඇමතිවරුත් මෙතෙන ඉන්නවා. ඔබ තුමාලා භාරගන්න. වැරදි වුණොත් අපිට පුළුවන් මෙතෙන ඇවිත් කෑගහන්න. අඩු ගානේ පෝස්ටර් හරි උස්සන්න. ඇයි මේක කැබිනට් මණ්ඩලයට භාරනොදෙන්නේ. WHO සංවිධානයටත් විශේෂඥ කණ්ඩායමක් තියෙනවා. ලංකාවේ ඒක නෑ. කොමිටියක් තියෙන්නේ. ඒක භාරදීලා තියෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් ට. හමුදාපති කියන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්. කොහොම ද එතුමා මේ වැඩකටයුතු කරන්නේ. ලේකම්වරුන්ට නියෝග දෙන්න පුළුවන් ඇමතිට නැත්තන් කැබිනට් මණ්ඩලයට විතරයි. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට නියෝග දෙන්නේ ලේකම්වරු ඇමතිවරුන්ගේ තත්ත්වය මත. ඇයි බලතල මේ ක්‍රියාත්මක නොවෙන්නේ. අපි කියන්නේ ඒ බලතල ගන්න.”