රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දෙයි

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දෙයි
Spread the love

ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා 09 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (23) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා  මහ ලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.  

1977 වර්ෂයේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරි පත් වූ වික්‍රමසිංහ මහතා 08 වන පාර්ලිමේන්තුව දක්වා අඛණ්ඩව අවුරුදු 42ක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් වැඩිම වාර ගණනක් ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරීමේ වාර්තාවට හිමිකම් කියන අතර, කැබිනට් අමාත්‍ය තනතුරු, සභානායක සහ විපක්ෂ නායක ඇතුළු තනතුරු ගණනාවක් හෙබවීය.

73 හැවිරිදි රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස 09 වන පාර්ලිමේන්තුව නියෝජනය කරනු ඇත.  

1949 මාර්තු 24දා උපත ලද රනිල් ශ්‍රියාන් වික්‍රමසිංහ මහතා පසුගිය යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.

1970 වසරේ මැද භාගයේදී කැළණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස සිය දේශපාලන දිවිය ආරම්භ කළ එතුමා පසුව බියගම ආසනයේ ප්‍රධාන සංවිධායක ධූරයට පත් කෙරුණි. 1977 දී ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්වූ ඒ මහතා ජේ.ආර්. ජයවර්ධන රජයේ කැබිනට් මණ්ඩලයේ සිටි ලාබාලතම අමාත්‍යවරයා වූ අතර එහිදී ඔහු දැරුවේ තරුණ කටයුතු හා රැකීරක්ෂා අමාත්‍ය ධූරයයි. අවුරුදු 28 දී විදේශ කරයුතු නියෝජිත ඇමතිවරයා වූ හෙතෙම, පසුව තරුණ කටයුතු, අධ්‍යාපන සහ කර්මාන්ත, විද්‍යා සහ තාක්ෂණ ලෙස කැබිනට් අමාත්‍යධුර හෙබවීය.

1989 මාර්තු 06 – 1993 මැයි 07 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ සභානායක ධුරයේද කටයුතු කළ වික්‍රමසිංහ මහතා 1994 සිට 2001 දක්වාත් 2004 සිට 2015 දක්වාත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරයේ කටයුතු කළේය.

එතුමා ප්‍රථම වතාවට 1993 මැයි 7 වැනිදා ශ්‍රී ලංකාවේ අග්‍රමාතයවරයා ලෙස තේරි පත්වූ අතර 1994 අගෝස්තු 19 දක්වා එම තනතුර හෙබවීය. හෙතෙම ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් (පස් වතාවක්) අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ දේශපාලනඥයා ලෙස වාර්තා ගත වේ.

වික්‍රමසිංහ මහතා, දෙවන වරට 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්‍රියෙල් 6 දක්වාත්, තෙවන වරට 2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, සිව්වන වරට 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත්, පස්වන වරට 2018 දෙසැම්බර් මස 16 වන දින සිට 2019 නොවැම්බර් 21දක්වාත් මෙරට අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබේ.

කොළඹ රාජකීය විදුහලේ ආදි සිසුවෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා පසුව කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයට තේරී පත්වී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන් අතර ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා මෙරට අග්‍රාමාත්‍ය ධූරය ඉසිලූ එකම පුද්ගලයාද වේ.

ඔහු 1980 සිට 88 දක්වා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් දුරස්ථ ඉංග්‍රිසි ගුරු පුහුණුව හෙවත් ඩෙලික් ගුරු පුහුණුව, පුර්ණ සේවා දුරස්ථ සේවා ගුරු පුහුණුව, පාසල් දිවා ආහාරය, මීපේ සෞන්දර්ය ආයතනය ඇරඹීම, නොවිදිමත් අධ්‍යාපනය ව්‍යාප්ත කිරීම, ගුරු හිගයට පිළියමක් වශයෙන් දිස්ත්‍රික් ගුරු සේවය ඇරඹීම, ගුරු සේවය වයස 60 තෙක් දීර්ඝ කිරීම, භික්ෂු ගුරු පුහුණුව, පාසල් සංවර්ධන සමිති ඇරඹීම, පාසල් සුපරීක්ෂණ ඒකක පිහිටුවීම, පාසැල් සැලසුම් ඒකක, නොමිලයේ පෙළ පොත් ලබාදීම, කොට්ඨාස අධ්‍යාපන කාර්යාල පිහිටුවීම, ජාතික තරුණ සේවා සභාව හා ශිෂ්‍ය උපදේශන සේවාවක් ඇරඹීම වැනි කටයුතු එතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලෙස දැක්විය හැකිය. ඊට අමතරව ගුරුවරුන් පුහුණු කිරීම සදහා අධ්‍යාපන විද්‍යා පීඨ ක්‍රමය ද නිර්මාණය කළ වික්‍රමසිංහ මහතා 1988 දී ජාතික විද්‍යා පීඨ 09ක් අරඹමින් සහ අධ්‍යපන පර්යේෂණය සඳහා ජාතික අධ්‍යාපන ආයතනය පිහිටුවීම  රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අධ්‍යාපනයේ නව පුනරුදය ශක්තිමත් කිරීමට දායක විය.

ඉතා ගැඹුරු සාහිත්‍ය පරිශීලකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාසය, පුරාවිද්‍යාව, නීතිය, ආර්ථික විද්‍යාව, බෞද්ධ දර්ශනය හා සාහිත්‍යය, විශ්ව සාහිත්‍ය හා චරිතාපදාන ද ආදිය පිළිබඳ මනා දැනුම් ඇත්තෙකි. විවිධ ආගම් හා දර්ශනයන් අධ්‍යයනය කිරීමට වැඩි කැමැත්තක් දක්වන ඒ මහතා ත්‍රීපිටකය, ධම්මපදය, බෞද්ධ සාහිත්‍ය හා දේශපාලන න්‍යාය ධර්ම ඇසුරෙන් ‘දේශපාලනය සහ ධර්මය’ නම් කෘතිය රචනා කොට තිබේ.

එතුමාගේ බිරිඳ වන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියයි.