රාජ්‍ය ඇමැතිවරුන්ට තවත් අභියෝගාත්මක වගකීමක්

රාජ්‍ය ඇමැතිවරුන්ට තවත් අභියෝගාත්මක වගකීමක්
Spread the love

මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය” යන චෝදනාවට තිත තැබිය යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

කොවිඩ් වසංගතය හමුවේ වුවද “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ බොහෝ දේ ඉටු කර ඇත. ජනතාව තුළ ඇති කණස්සල්ලට හේතුව ඇතැම් රාජ්‍ය ආයතනවල පවතින අකාර්යක්ෂමතාව, දූෂණය, කල්ගතවීම බව ජනතාව පෙන්වා දෙති. කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සෘජු මැදිහත්වීමෙන් සහ තාක්ෂණය භාවිතයෙන් ගැටලුවට විසඳුම් දිය හැකි බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍යවරුන් සමග මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීම අද (21) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවත්වුණු අතර එහිදී ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

ඇතැම් ආයතන ප්‍රධානීන්ගේ කාර්ය භාරය නිසි ලෙස ඉටු නොවීම පිළිබඳව ද වාර්තා වී ඇත. රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළගා වී නැති එවැනි ආයතන පිළිබඳ වාර්තාවක් දෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරුන්ට පැවසූ ජනාධිපතිවරයා එම ආයතන සඳහා වෙනත් නිලධාරීන් පත් කළ යුතු නම් ඒ සඳහා ද තමා සුදානම් බව කියා සිටියේය.

විදේශ ණය සහ දේශීය අය වැය ප්‍රතිපාදන මගින් ක්‍රියාත්මක ව්‍යාපෘතින්හි ප්‍රගතිය අධීක්ෂණය කර කඩිනම් කරවීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

“ජනතාව සමගයි අපේ ශක්තිය තිබෙන්නේ, ඔවුනගේ අවශ්‍යතා කඩිනමින් ඉටු විය යුතුයි.  ගැටලුවලට ඇහුම්කන් දෙමින්, ජනතාවගෙන් දුරස් නොවී වැඩ කරන්න” යැයි ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍යවරුන්ට කියා සිටියේය.

රජයේ ප්‍රතිපත්තිය රැකියා නිෂ්පාදනයයි. එබැවින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගම තුළ ගොඩනගා රැකියා අවස්ථා උදා කිරීමේ හැකියාව ද ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණ.

උත්සව සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහලයාම ස්වභාවයයි. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය නිසා ගොවි අස්වනු අළෙවි කර ගැනීමට ද නොහැකි වෙයි. එම තත්ත්වය වෙනස් කරමින් මෙවර අලුත් අවුරුදු සමයේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ මට්ටමක පවත්වාගෙන යාමටත්, ගොවි අස්වනු මිලදී ගැනීමටත් පළමු වතාවට රජයට හැකි වු බව පෙන්වා දුන් ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා රුපියල් පන්දහසේ දීමනාව බෙදා දීමට රාජ්‍ය නිලධාරීන් දැක්වූ සහාය සහ කැපවීම ද ඇගයීමට ලක් කළේය.

රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, රාජ්‍ය පරිපාලන ලේකම් ජේ.ජේ. රත්නසිරි යන මහත්වරු ද මේ අවස්ථාවට එක්ව සිටියහ.