වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම කොවිඩ් මරණ ඉහළ යාමට බලපෑවා – සුනිල් හඳුන්නෙත්ති

වැඩිහිටියන්ට එන්නත් ප්‍රමුඛතාව නොදීම කොවිඩ් මරණ ඉහළ යාමට බලපෑවා – සුනිල් හඳුන්නෙත්ති
Spread the love

කොවිඩ් එන්නත් ලබාදීමේදී වැඩිහටියන්ට ප්‍රමුඛතාවය ලබානොදීම කොවිඩ් මරණ ඉහළයාමට බලපා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු මේ බව පැවසූවේ බත්තරමුල්ල පැලවත්ත හිදී අද (12) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි. එහිදී ඔහු වැඩිදුරටත් දැක්අවූ දහස්…

“අද වනවිට ඩෙල්ටා ප්‍රභේදය ඉතා වේගයෙන් ව්‍යාප්ත වීමත් සමග ආණ්ඩුව දක්වන ප්‍රතිචාරවල පරස්පතරතා නිසා රටේ ඇති වී තිබෙන අවිනිශ්චිතභාවය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය රටට හෙළි කළ යුතුව තිබෙනවා. ඊයේ(11) වනවිට වැඩිම මරණ සංඛ්‍යාව වූ 124ක් මියගොස් ඇති අතර මේ වනවිට 5,424ක් වසංගතයෙන් මියගොස් තිබෙනවා. තුන් ලක්‍ෂ ගණනක් ආසාදිතයන් වී සිටිනවා. සමාජයක් හැටියට, රටක් හැටියට අතිශය වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දෙන්න වී තිබෙනවා. අද වනවිට ආසාදනය වී නැත්තේ කාටද කියලා අහන්න සිදුවෙන මට්ටමකට වසංගතය පැතිරිලා. මෙවැනි මොහොතක රටේ ජනතාව ඇත්ත දත්ත දැනගැනීම ඉතාම වැදගත්. අවදානම සම්බන්ධයෙන් වගේම තීන්දු-තීරණ ගැනීමේදී මේ සත්‍ය තොරතුරු ලබාගැනීම අතිශය වැදගත්.

නමුත් ඊයේ වනවිට මේ ඉදිරිපත් කරන දත්තවල බරපතළ පරස්පරතාවයන් තිබෙන බව තහවුරු වුණා. ගම්පහ දිස්ත්‍රික්කයේ වසංගත රෝග විද්‍යා අංශයත් දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණ කමිටුවේදී හෙළිවුණු කරුණුත් බරපතළ පරස්පරයි. අගෝස්තු මාසයේ මුල් දින 08ක ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 12,555ක් බව දිස්ත්‍රික් ලේකම්වරයාගේ සම්බන්ධීකරණ කමිටුවෙන් හෙළි වෙනවා. ඒ දින 08 සම්බන්ධයෙන් කොවිඩ් මර්දන බලකායෙන් වාර්තා කර තිබෙන්නේ 3,729ක්. මේ අනුව 8,826කගේ දත්තවලට සිදුවූ දෙයක් නැහැ. මේ නිසාම ඊයේ දිනයේ මගහැරුණු සංඛ්‍යා හැටියට 3,223ක් එකතු කර තිබෙනවා. නැගෙනහිර පළාතේ මඩකලපුවේ 45ක් සිටින බව කොවිඩ් මර්දන බලකායෙන් කියනකොට දිස්ත්‍රික් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය 342ක් බව කියනවා. ත්‍රිකුණාමලයේ 71ක් බව බලකායෙන් කියනකොට සෞඛ්‍ය අධ්‍යක්‍ෂවරයා 163ක් ඉන්න බව කියා තිබෙනවා. අම්පාරෙත් තත්වය මේ වගෙයි. ඇත්ත කියන්නේ කවුද කියන්නේ කියන ගැටලුව තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය මේ තොරතුරු ලබාගන්නවා. එක්කො සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා. එහෙම නැත්නම් හමුදාපතිවරයා ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියා වශයෙන් වැරදි තොරතුරු ඉදිරිපත් කර තිබෙනවා.

නිවැරදි තොරතුරු ඉදිරිපත් කළේ නැත්නම් ජනතාවට බරපතළ සැකයක් ඇති වෙනවා. මේ තත්වය දිගටම තිබුණා.

වසංගත රෝග මර්දන ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහත්තයා ඒ තනතුරෙන් ඉවත් කළේ තොරතුරු සම්බන්ධ ප්‍රශ්නයකට. ඊයේ මාධ්‍ය වාර්තා කළ කරුණු අනුව තොරතුරු ලොකු කරන්නේ හෝ පුංචි කරන්නේ කවුද කියලා හෙළි කළ යුතුයි. මෙය බරපතළ ප්‍රශ්නයක්. ආණ්ඩුවක් මේ සෙල්ලම් කරන්නේ ජනතාවගේ ජීවිතත් සමගයි. මේ වසංගතයේ ගොදුරු බවට පත් කළේ වරදක් කළ අය නෙවෙයි. ආණ්ඩුවේ අමනෝඥ තක්කඩි තීන්දුවල ප්‍රතිඵලයක් හැටියට වසංගතයේ ගොදුරු බවට ජනතාව පත්කරනවා. මිය යන අය සම්බන්ධයෙන් තත්වයත් මේකද කියන සැකය බරපතළ ලෙස ඇතිවී තිබෙනවා. රෝහල්වල වාර්තා අනුව සමාජයේ හැම කෙනෙකුටම දරාගන්න බැරි ඛේදනීය තත්වයක් ඇතිවී තිබෙනවා. ජනතාවගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තීන්දු ගැනීමේදී සහ තොරතුරු ඉදිරිපත් කිරීමේදී ඇත්ත දැන ගැනීමේ අයිතිය ජනතාවට තියෙනවා. ආණ්ඩුව මේ තොරතුරු විකෘති කිරීම ගැන වගකීමෙන් ප්‍රකාශ කරන්න කියලා අපි බල කරනවා.

ආසන්න දින 3ක් ඇතුළත මිය ගිය 354න් වැඩි ප්‍රමාණයක් මිය ගියේ වයස අවුරුදු 60ට වැඩි අය. ඔවුන් නිසි පරිදි එන්නත් ලබා නොගත් නිසා මියගිය බව ආණ්ඩුව කියනවා. අපි ආණ්ඩුවෙන් අහන්නේ 60ය වැඩි එන්නත් ප්‍රතික්‍ෂේප කළ අය ඉන්නවාද කියලා. එන්නත් පටන් ගන්නත් කලින් ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ ඉදිරිපත් කළා. 2020 නොවැම්බර් 13වැනිදා ඉදිරිපත් කළ වාර්තාව අනුව ප්‍රමුඛතාවය සෞඛ්‍ය කාර්යාංශවලට දෙන්න ඕනෑ බව කීවා. ජනගහනයෙන් 10%කට එන්නත් ලැබෙන පළමු අදියරේදී සෞඛ්‍ය කාර්යාංශවලට මූලිකත්වය දීමෙන් පසු ඊළඟට වයස අවුරුදු 60ට වඩා වැඩි අයට ප්‍රමුඛත්වය දීම ඔවුන්ගේ නිර්දේශයයි. සෞඛ්‍ය අංශ ආරක්‍ෂා කිරීම මුලින්ම සිදුකර ඊළගට වැඩිහිටියන් ආරක්‍ෂා කිරීමයි. දෙවැනි අදියරේදී ජනගහනයෙන් 20%කට ලැබෙන එන්නත්වලින් ප්‍රමුඛම තැන වැඩිහිටියන්ට දිය යුතු බව නිර්දේශ කළා. හැබැයි අපේ රටේ ඇස්ට්‍රසෙනිකා පළවැනි තොගය ලැබුණු වෙලාවේ ආණ්ඩුව දේශපාලනඥයින්ට, ඔවුන්ගේ පවුල්වල අයට, වගේම ශ්‍රම බලකායට ලබාදෙන්න කටයුතු කළා. ආණ්ඩුවේ ඇතැම් අය එන්නත් මංකොල්ලයක් පටන් ගත්තා. අනෙක් පැත්තෙන් තක්කඩි තීන්දුවක් අරගෙන අවුරුදු 30-60 අතර ශ්‍රම බලකායට එන්නත් ලබාදී මුදල් ඉපයීම පැත්තෙන් විතරක් බැලුවා. අද ප්‍රචාරය කරන්නේ අවුරුදු 60ට වැඩි අය එන්නත් ලබානොගෙන සියදිවි නසා ගත්තා වගේ කතාවක්. ඒක ඇත්ත නෙවෙයි. කිසි කෙනෙක් එන්නත් ප්‍රතික්‍ෂේප කළේ නැහැ. මේ නිසා අවුරුදු 60ට වඩා වැඩි අය 95%ක් පමණ මියයාමේ තත්වයක් තිබෙනවා. අපි විශ්වාස කරන්නේ මේවා කොරෝනාවලින් මිය යාමට වඩා ඝාතනය කිරීම් ලෙසයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ ප්‍රතික්‍ෂේප කිරීමේ අවසන් වන්දිය ගෙවන්න සිදුවී තිබෙන්නේ අපේ රටේ අහිංසක ජනතාවටයි. මෙතරම් ව්‍යසනකාරී තත්වයකට රට පත්ව තිබියදීත් වසංගත රෝග විශේෂඥයින්ගේ අදහස් ආණ්ඩුව පැත්තකට දාලා. සෞඛ්‍ය අංශ ප්‍රධානීන් සහ විශේෂඥයින් අනතුරු  අඟවන්නේ ඉදිරි දින 20 ඇතුළත 1200ක පමණ පිරිසක් මිය යා හැකි බවට. සුරේෂ් අංගම්පොඩි රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්යතුමා මේ වගේ ප්‍රක්‍ෂේපණයක් ඉදිරිපත් කර තිබෙනවා. දින 05ක් ප්‍රමාද නොවී සංචරණ සීමා දැඩි කිරීම හෝ ඊට වඩා වැඩි තීරණ ගත යුතු බව විශේෂඥයන් ප්‍රකාශ කරන අතර සමහර ඇමතිවරුන් ජනතාව දෙවියන්ට භාර දෙන්න හදනවා. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරිය ප්‍රකාශ කර තියෙන්නේ තීන්දු-තීරණ ගන්න අය තමන්ගේ මතය ප්‍රයෝජන නොගන්නා බවයි. රටේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන හමුවට සෞඛ්‍ය ඇමතිවරිය කැඳවන්නේ නැහැ. විශේෂඥයින්ගේ මතය කුණු කූඩයට දාලා. ආණ්ඩුවේ බොහෝ දෙනා තීරණ ගනිමින් ඉන්නේ මොළේ උඩ වාඩි වෙලා. විශේෂයෙන් ජනාධිපතිවරයා තීරණ ගන්නේ සෞඛ්‍ය අංශවල නිර්දේශ අනුවද නැත්නම් හමුදාපතිවරයා හෝ බුද්ධි අංශවල තොරතුරු අනුවද කියලා ගැටලුවක් තිබෙනවා. ආණ්ඩුවේ උද්දච්ඡ හිතුවක්කාර තීන්දු-තීරණ විසින් වසංගතයේ බරපතළකම බිහිසුණු වී තිබෙනවා. රටේ ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව අපි හිතනවා. ආණ්ඩුව සොයමින් ඉන්නේ වසංගතයට මුහුණ දීම ගැන නෙවෙයි, මිය යන අයට ආදාහනය කිරීම ගැනයි. ඒ නිසා ජනතාව මේ පිළිබඳව වඩා සැලකිලිමත් විය යුතුයි. ඊට අමතරව අද බඩු මිල වැඩිවන විට ආදායම වැඩි නොවන මිනිස්සුන්ට ජීවත් වීම සඳහා පාරට බහින්න සිදුවෙලා තිබෙනවා. පොලිම්වල ලගින්න සිදුවී තිබෙනවා. ආණ්ඩුව මිනිස් ජීවිත ගැන වගකීමක් නොකියන නිසා ජනතාවට වගකීම ගන්න සිද්ධවෙලා තියෙනවා. ජනතාව හැටියට ජීවත් වෙන්න අරගල කරන අතරෙම මේ රෝගයෙන් ගැලවීමේ ක්‍රමෝපායන් අනුව කටයුතු කරන්න කියලත් ඉල්ලා සිටිනවා. දරුවන්ගේ ජීවිතත් බේරා ගැනීමේ වගකීම අපිම දරාගත යුතු වෙනවා. මියයන ජීවිතවල වගකීම ඒ මිනිස්සු පිටම පටවන තත්වයක් ආණ්ඩුවේ තියෙන්නේ. ආණ්ඩුව කැබිනට් මණ්ඩලය රැස් කරන්නේ ජනතාව වෙනුවෙන් තීන්දු-තීරණ ගන්න නෙවෙයි. ඒ වගේම රටේ ජනතාව ගෑස් පෝලිම්වල යවා දැන් වෙළඳ මාෆියාවට කප්පම් දී උත්තර හොයා තිබෙනවා. ලාෆ් ගෑස් ආයතනය තමන්ගේ පාඩුව ආණ්ඩුවට බාරගන්න කොන්දේසි ඉදිරිපත් කර ඔවුන්ගේ හම්බන්තොට ගෑස් ටර්මිනල් එක ලිට්‍රෝ සමාගමට පවරන්න කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. පෞද්ගලික සමාගමේ පාඩුව ආණ්ඩුව බාර ගන්නවා නම් රු. 1493 මිලට දිගටම ගෑස් ලබාදෙන්න සූදානම් බව කියා තිබුණා. නමුත් අද වෙනකොට රු. 363කින් ගෑස් මිල වැඩිකර තිබෙනවා. මීට ඉස්සර කිව්වේ ද්‍රවශීලතා ප්‍රශ්න තියෙන බවයි. නමුත් ගෑස් මිල වැඩිකිරීමෙන් කප්පම් දුන්නාට පස්සේ වෙන කිසිම ප්‍රශ්නයක් ගැන කියන්නේ නැහැ. පෞද්ගලික සමාගමේ පාඩු රජය බාර ගත්තත් ඒක ආපහු පටවන්නේ ජනතාව මතට. එහෙම නොකර මිල වැඩි කිරීමෙනුත් සෘජුවම පටවන්නේ ජනතාව මතට. දැන් මේ වනවිට රජයේ ලිට්‍රෝ ගෑස් කම්පැනියත් පාරිභෝගික අධිකාරියෙන් මිල වැඩි කරන්න අවසර ඉල්ලා තිබෙනවා. ආණ්ඩුව කියන්නේ රජයේ සමාගමට මිල වැඩි කරන්න නොදෙන බවයි. ආණ්ඩුව කියන්නේ අවසානයේ දී කණගාටුවෙන් වුණත් ලිට්‍රො සමාගමෙන් මිල වැඩිකරන්න සිදුවන බවයි. එහෙම නැත්නම් ලිට්‍රො සමාගමත් එකතු කරලා අලුත් සමාගමක් පිහිටුවන්න යාමයි. මෙතන තියෙන්නේ ස්වභාවිකව ගෑස් හිඟවීමක් නෙවෙයි. කප්පම් ගනිමින් ව්‍යාපාර ශක්තිමත් කර ගැනීමේ වැඩපිළිවෙළක්. මේ වසංගත තත්වයේදී, බඩුමිල වැඩිවීමේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟවී තිබියදී ආණ්ඩුව කිසිම ප්‍රශ්නයකට උත්තර හොයන්නේ නැහැ. හැම පැත්තෙන්ම ජනතාව පීඩාවට පත්කරමින් ඉන්නේ. මේ තත්වයෙන් අපේ රටත් ජනතාවත් මුදවා ගැනීමේ වගකීම බාර ගැනීමට අපි සූදානම් ඒ වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරමු. එහි පළවැනි පියවර හැටියට අපි ආණ්ඩුවට බල කරමින් කියන්නේ වහාම සෞඛ්‍ය විශේෂඥයින්ගේ මතයට ඇහුම්කන් දී කටයුතු කරන්න කියලා. ඒ වගේම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආණ්ඩුව වගකීම අත්හරින නිසා ජනතාව හැටියට ඒකරාශී වී අපේ දරු පරම්පරාවේ ආරක්‍ෂාව වෙනුවෙන් එකට එකතු වී කටයුතු කරමු කියලා. අපි ආරක්‍ෂා වෙමු. ආරක්‍ෂා වී කටයුතු කරමු. ඒ සඳහා පෙරට එන්න කියලා අපි ආරාධනා කරනවා.”