ශ්‍රී ලංකාවට ලබා දුන් GSP+ අත්හිටුවනු – යුරෝපා සංගම් පාර්ලිමේන්තුවෙන් යෝජනාවක්

ශ්‍රී ලංකාවට ලබා දුන් GSP+ අත්හිටුවනු – යුරෝපා සංගම් පාර්ලිමේන්තුවෙන් යෝජනාවක්
Spread the love

ශ්‍රී ලංකා රජය මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සම්මත කර ගැනීම සහ බලාත්මක කිරීම මෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට දිගින් දිගටම අපොහොසත් වී ඇති හෙයින් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය තාවකාලිකව අත්හිටුවීම  සම්බන්ධයෙන් සලකා බලන්නැයි යුරෝපා කොමිසමෙන් ඉල්ලමින් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ 705/628ක අති බහුතර ඡන්දයකින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ඊයේ (10) සම්මත කර ගන ඇතැයි බ්‍රසල්ස් හී තානාපති ආරංචි මාර්ග කියනවා.

යුරෝපා සංගමයේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් 705 දෙනකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගෙන් 628 දෙනකු යෝජනාවට පක්ෂව ඡන්දය දී තිබෙනවා. යෝජනාවට විරුද්ධව ඡන්ද 15 ක් ලැබී තිබන අතර තවත් 40ක් ඡන්දය දීමෙන් වැළකී සිට ඇති බවයි වාර්තා වන්නේ.

2017 වසරේදී යුරෝපා කොමිසම විසින්  ශ්‍රී ලංකාවට යළි ලබා දුන්  ජී.එස්.පී.ප්ලස් බදු සහනය  හා  එහි ප්‍රතිලාභ තාවකාලිකව ඉවත් කර ගැනීමට යුරෝපා කොමිසම සලකා බැලිය යුතු බව  යූරෝපා පාර්ලිමේන්තුව සම්මත කර ගත් එම යෝජනවේ සදහන් වෙනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ වාර්තාවෙන් පැහැදිලි කර ඇති පරිදි, බරපතළ මානව හිමිකම් උල්ලංඝණය වීම් නැවත සිදුවීමක් සඳහා රටතුළ ඇති භයානක පසුබෑමක් ඇති බවට ද යුරෝපා සංගම් පාර්ලිමේන්තුව අදාළ යෝජනාවේ සදහන් කර තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සුළු ජාතීන් සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම, ආණ්ඩුව විටින් විට ප්‍රකාශ කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට අසමත් වීම, සමාජ ක්‍රියාකාරීන්, ලේඛකයන්, නීතිඥයන් වැනි අය රඳවා ගැනීමට මෙම පනත යොදා ගැනීම යුරෝපා පාර්ලිමේන්තුවේ දැඩි අවධානයට ලක් වී තිබෙනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර, නීතිඥ හිජාස් හිස්බුල්ලා, අහ්නෆ් ජාසිම් වැනි අයට චෝදනා ගොනු කර අධිකරණ ඉදිරිපත් කරන ලෙස හෝ චෝදනා නැත්නම් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසද යුරෝපා පාර්ලිමේන්තුව සිය යෝජනාව මගින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා

ශ්‍රී ලංකාවේ තෙවන ප්‍රධාන අපනයනකරුවා වන යුරෝපා සංගමය විසින් යළිත් ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය අත්හිටුවීමට ක්‍රියා කළහොත් එමගින් ශ්‍රී ලංකාවට දැඩි ආර්ථික හා සමාජයීය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බව ආර්ථික විශේෂඥයින් කියනවා.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන යුගයේ අත්හිටුවන ලැබූ ජී.එස්.පී ප්ලස් තීරු බදු සහනය යහපාලන ආණ්ඩුව බලයට පත් වූ පසු 2017 වසරේදී යළි ලබා දුන්නා.