ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති අවුල ගැන ‘පොහොට්ටු මහ ලේකම්‘ කළ සුපිරි හෙළිදරව්ව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැන් ඇති අවුල ගැන ‘පොහොට්ටු මහ ලේකම්‘ කළ සුපිරි හෙළිදරව්ව
Spread the love

මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන්ට අමතක වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී, සාගර කාරියවසම් මහතා පවසනවා.

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (26) ජනපතිවරයා හමුවූයේ ආණ්ඩුව තුළ අර්බුදයක් නිසාදැයි මාධ්‍යවේදියා මෙහිදී ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවා.

‘‘මේ වන විට පවතින සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැමුන්ට අමතක වී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැමුන් තවමත් ඉන්නේ ප්‍රධාන පක්‍ෂය තමන් බවට වන අතීත මානසිකත්වයේ බවයි අපට පෙනෙන්නට තිබෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට රජය තුළ යම් යම් ගැටලු මතුව ඇත්තේ ඔවුන් ප්‍රධාන පක්‍ෂයක් වටා සන්ධානගත වූ පක්‍ෂයක් බව අමතක කිරීම නිසා මිස වෙනත් කරුණක් නිසා නොවෙයි.

අතීත සන්ධාන තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබූ බලය වැඩි නමුත් වර්තමානයේ තත්වය වෙනස් නිසා තනතුරු ලැබීමේදී හා විවිධ කරුණුවලදී පොදුජන පෙරමුණේ අදහස්වලට අනුකූලතාවක් දැක්වීමට ඔවුන්ට සිදු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පමණක් නොව විපක්‍ෂයේ පක්‍ෂවලටත් ජනාධිපතිවරයා හමුවීමට අයිතිය තිබෙනවා. ශ්‍රී.ල.නි.පයේ බහුතරයක් නැතත් සුළුතරයක් රජය කෙනෙහිලිකම් කරන බවට මතයක ඉන්නවා. එක ඇමතිවරයෙක් ඔහුට විහිළු ඇමතිකමක් ලැබුණු බව කීවා. මෙවැනි කීප දෙනෙක් ඒ පක්‍ෂයේ ඉන්නවා. ඒත් බහුතරය් ඒ මතයේ නොවීම ගැන සතුටු වෙනවා. මේ සන්ධානයේ ප්‍රධාන පක්‍ෂය ඔවුන් නොවන බව ඒ අයට අමතක වෙලා. දේශපාලන පරිණතභාවයක් ඇති නායකයන් එය තේරුම් ගත්තත් තේරුම් නොගත් අය විවිධ කතා කියනවා. මේ තත්වය විසඳාගෙන සුබවාදී ලෙස ඉදිරියට යන්න හැකිවේ යැයි අපි විශ්වාස කරනවා. ඔවුන්ට මත දැරීමේ හැකියාව තිබෙනවා. සියලු පක්‍ෂ තම මතය පවසද්දී අපිත් අපේ මතය ප්‍රකාශ කරනවා.” යැයි ද සාගර කාරියවසම් මහතා පැවසුවේය.

මේ අතර ශ්‍රීලනිපය ජ්‍යෙෂ්ඨයෙකු අප සමග පැවසුවේ ජනපතිවරයා සමග අද (26) පැවැති සාකච්ඡාව අපේක්ෂා කළ ආකාරයට සාර්ථක ප්‍රතිඵල ලබා ගත් බවයි.