සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර කිරීමට යයි

සංකූලතා නොමැති කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ රඳවා ප්‍රතිකාර කිරීමට යයි
Spread the love

දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය කිරීම සදහා ජනාධිපතිවරයාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස් පරිදි රෝගීන් රෝහල් ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව, සංකූලතා නොමැති, වයස අවුරුදු 02 ට වැඩි 65 ට අඩු,  අඩු අවදානම්, රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන හෝ සුළු රෝග ලක්ෂණ පෙන්වන කාණ්ඩයන්ට අයත් කොවිඩ් ආසාදිතයින් නිවෙස් තුළ වෛද්‍ය අධීක්ෂණය මත රැකබලා ගැනීමට පියවර ගැනීමටත් අවධානම් තත්ත්වයේ පසුවන පිරිස් රෝහල්ගත කිරිමටත් අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් එම මාර්ගෝපදේශ පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ඇතුලු  සියළුම සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කිරිමට පියවර ගෙන ඇත.

පැය 24 පුරා ක්‍රියාත්මක ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් (Call Center – 1390)  හරහා රෝගීන් කළමණාකරණ කටයුතු (PHIMS – Patient Home Isolation and Management System) සිදු කරනු ලැබේ. මෙමගින් රෝගියාට පහසුවෙන් තම නිවසේ සිට  දින 14 ක් වෛද්‍ය අධීක්ෂණය (Call – Center and the Medical Care Team) යටතේ ප්‍රතිකාර ලබාගත හැක. යම් හෙයකින් රෝගී තත්ත්වය උත්සන්න වුවහොත් කඩිනමින් එම රෝගීන් පිළිබද තොරතුරු දුරකථන ඔස්සේ ලබාගෙන රෝහල්ගත කිරිමට පියවර ගනු ලබන අතර, මෙම ක්‍රමවේදය මගින් අනවශ්‍ය ලෙස රෝගීන් රෝහල් ගත කිරීමෙන් රෝහල් වාට්ටු තුල ධාරිතාවය පිළිබද ගැටළු සහගත තත්ත්වයන් අවම වනු ඇත.

පී.සී.ආර් හෝ ඇන්ටිජන් පරික්ෂාවෙන් පසු ඔහු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගන්නා ලද්දේ නම් ප්‍රාදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හට ලබාදී ඇති මාර්ගෝපදේශ නිර්ණායකයන්ට අනුකූලව එම රෝගීයා පරික්ෂා කර නිවසේ රඳවා ප්‍රතිකාර කිරීම හෝ රෝහල් ගත කිරීමට පියවර ගැනිම සිදු කරනු ලබයි. මෙහිදී රෝගියා නිවෙස් තුල ප්‍රතිකාර ලබාගන්නේ නම් ඒ සදහා තම කැමැත්ත ද පළ කළ යුතුය. නිවෙස් තුල රඳවන රෝගීන් කළමණාකරණය කළ යුතු ආකාරය ද මාර්ගෝපදේශ මාලාවෙන් පෙන්වා දී ඇත. අනතුරුව පරිගණක තාක්ෂණය ක්‍රමවේදය ඔස්සේ රෝගීන් ලියාපදිංචිය සිදු කෙරේ. ඒ අනුව එම තොරතුරු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයක් හා සම්බන්ධ වේ.

දුරකථන මධ්‍යස්ථානය ඔස්සේ රෝගීයාගේ තොරතුරු ලබාගෙන තහවුරු කර ගැනීමෙන් පසු ප්‍රධාන දුරකථන මධ්‍යස්ථානයේ සිට විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට රෝගියා ලක්වේ.  රෝගීයාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ද මෙහිදී ලබාදෙන අතර, රෝගියාගෙන් ලබාගන්නා තොරතුරු ද පරිගණක ගත කරනු ලැබේ.

එම අධීක්ෂණ කටයුතු වල දී රෝගීන් වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කිරීමට අවශ්‍ය වන්නේ නම් රෝගී තත්ත්වය අනුව රෝගියා යොමු කළ යුතු රෝහල් ඇතුලු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ක්ෂණිකව යොමු කිරීමට පියවර ගනු ලබන අතර, ඒ සදහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හරහා වැඩපිළිවෙළක් ද සකස් කොට ඇත. දින 14 කින් පසු රෝගියා මුදා හැරීමෙන් පසු රෝගීන් අධීක්ෂණ කටයුතු එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා අඛණ්ඩව සිදු කිරීමට ද පියවර ගෙන ඇත.