ජනතාව කබලෙන් ලිපට දමමින් ආණ්ඩුව සංශෝධනයට මුවා වී ‘ඉන්ධන මිල ඉහළ දමයි‘

ජනතාව කබලෙන් ලිපට දමමින් ආණ්ඩුව සංශෝධනයට මුවා වී ‘ඉන්ධන මිල ඉහළ දමයි‘
Spread the love

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ද. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 23 කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 7 කින් ද, සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 12 කින් ද, භූමිතෙල් ලීටරයක් රුපියල් 7 කින් ද, ඉහළ දමා තිබේ.

මාධ්_ය-නිවේදනය-බලශක්ති-අමාත්_යංශය

ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුව තීරණය කර ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ එම අමාත්‍යාංශයේදී අද (11) පැවති මාධ්‍ය හමුවේදීය.

මිල සංශෝධනය සිදුකරන දිනය දැන්ම ප්‍රකාශ නොකරන්නේ තෙල් පිරවුම්හල් ඉදිරියේ දිගු පෝලිම් ඇති වුවහොත් එය කොවිඩ් පාලනයට අහිතකර ලෙස බලපාන නිසා බව කී ඇමැතිවරයා මිල සංශෝධනය නුදුරේදීම සිදුවන බව කීවේය.

ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණය සාධාරණීකරණය කරමින් වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘‘ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ යද්දීත් අපි මාස 21කට අධික කාලයක් මිල සංශෝධනය නොකර සිටියේ ජීවන වියදම ඉහළ යාම හා ආදායම් අහිමිවීම හේතුවෙන් ජනතාව අතිශය දුෂ්කර තත්වයක සිටින බව දන්නා නිසයි. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යන විට මෙතරම් දිගු කලක් මිල වැඩි නොකර සිටි යුගයක් ඉතිහාසයේ කවදාවත්ම තිබුණේ නැහැ. නමුත් තවදුරටත් එම දැවැන්ත අලාභය දරාගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නැහැ.

වියදමට වඩා අඩු මිලකට ඉන්ධන විකිණීම නිසා 2020 වන විට ඛනිජතෙල් සංස්ථාවේ අලාභය රුපියල් බිලියන 331ක් හෙවත් රුපියල් කෝටි 33,100ක් බවට පත්ව තිබෙනවා. ඒ හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ණය ගෙවා ගත නොහැකි බංකොලොත් ආයතනයක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම තමයි ඉන්ධන ආනයනය සඳහා වසරකට රුපියල් කෝටි 300ක් වැය වෙනවා. පවතින විදේශ විනිමය අර්බුදය මැද එම මුදල වැය කිරීම ද අභියෝගයක් බවට පත්ව තිබෙනවා‘‘

ඉන්ධන මිල සංශෝධනය රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආර්ථික විශේෂඥයින් කිහිප දෙනකුම පැවසුවේ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම නිසා ඉන්ධන ආනයනයේදී විශාල මිලක් ගෙවීමට සිදුව ඇති බවයි. වත්මන් රජය බලයට පත්වන අවස්ථාව වන විට ලෝක වෙළෙදපොළේ ඉන්ධන මිල වාර්තාගත ලෙස පහළම අගයක තිබූ බව සදහන් කළ ඔවුන් කියා සිටියේ ඒ අවස්ථාවේ එකී මිල වාසිය ජනතාවට ලබාදීමට රජය පියවර නොගත් බවයි.

‘ඒ අවස්ථාවේ රජය කිව්වේ අදාළ මිල වාසිය ගිනුමකට බැර කර මිල ඉහළ යන අවස්ථාවක එම සහනය ජනතාවට ලබා දෙන බවයි. ඒත් අපි හොදාකාරවම දන්නවා ආණ්ඩුවට එවැනි ගිනුමක් තිබුණේ නැහැ. ඒ වාසිය ජනතාවට දුන්නෙත් නැහැ.‘

මේ සම්බන්ධයෙන් ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණයෙන් කියා සිටියේ ඛනිජ තෙල් සංස්ථව අඛණ්ඩව පාඩු ලබන්නේ ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දුන් නිසා නොවන බවයි.

‘‘ජනතාව ණයට ඉන්ධන ගත්තේ නැහැ. මේ පාඩුව ලබන්නේ ආණ්ඩුවේම ආයතන, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලන්කන් ගුවන් සේවය ආදියට ඉන්ධන විකුණලා. ඒ අලාභය ජනතාව පිටින් දාන එක වැරදියි. කළමනාකරණ නොහැකියාව, නාස්තිය හා දූෂණය නිසයි තෙල් සංස්ථාව පාඩු ලබන්නේ‘ යැයි ඔහු සදහන් කළේය.