සජිත් නිවාස ඇමති කාලෙ නිවාස මගඩියක් ගැන පරීක්‍ෂණ…!

සජිත් නිවාස ඇමති කාලෙ නිවාස මගඩියක් ගැන පරීක්‍ෂණ…!
Spread the love

වත්මන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටියදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කර වැඩ අවසන් නොකර අතහැර දැමූ උදාගම්මාන 2,150 ක අඩක් ඉදිකිර ඇති නිවාස 39,815 ක වැඩ කඩිනමින් අවසන් කරන ලෙසට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සූර්ය පැනල නිවාස ව්‍යාපෘතිය සහ ගමට බලාගාරයක් වැඩසටහන යටතේ විදේශීය ආයෝජකයකු මගින් එම නිවාසවල ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම අවසන් කරන බවයි.

සජිත් ප්‍රේමදාස මහතා නිවාස අමාත්‍යවරයාව සිටි 2015-2019 සිව් වසර තුලදි දිවයින පුරා උදාගම්මාන 2,158ක නිවාස ඒකක 42,610ක වැඩ ආරම්භ කර තිබුණි. නමුත් ඒවායේ වැඩ අවසන් කර තිබුනේ අර්ධ වශයෙනි. බොහෝමයක් නිවාස පදිංචියට සුදුසු තත්ත්වයේ නොතිබීම හේතුවෙන් ඒවායේ හිමිකරුවන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බවට පසුගිය සමයේදී තොරතුරු වාර්තාවී තිබුණි.

මෙම තත්ත්වය හේතුවී ඇත්තේ එක් උදාගම්මාන වැඩ සටහනක් සඳහා වෙන් කළ මුදල කොටස් වශයෙන් උදාගම්මාන කිහිපයක් සඳහා බෙදා දීම නිසවෙන් බවටද තොරතුරු අණාවරණය වී තිබේ. තමන්ගේ කාලයේදී ගම්මාන රැසක් ඉදිකළ බව පෙන්වීමේ අරමුණින් මෙලෙස කටයුතු කර ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමෙන් පසුව මෙලෙස සජිත් ප්‍රේමදාස මහතාගේ කාලයේ වැඩ අවසන් නොකර අතහැර දමා තිබූ උදාගම්මාන ගම්මාන 8 නිවාස 2,795ක වැඩ සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට පියවර ගැණින. රජයේ හා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මූල්‍ය ප්‍රතිපාදන යොදාගනිමින් එම ගම්මානවල වැඩ අවසන් කෙරිණ. නමුත් කොවිඩ් -19 වයිරස ව්‍යාප්තිය හා රට මුහුණ දුන් ආර්ථික අර්බුධ හා අරගල හේතුවෙන් එම වැඩ පිළිවෙලද අතරමඟ නතර කිරීමට සිදුවිය.

මෙම තත්ත්වය සැළකිල්ලට ගත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා අධිකාරියට උපදෙස් දී ඇත්තේ එම ගම්මානවල වැඩ අවසන් කෙරෙනතුරු නව ගම්මාන ඉදිනොකරන ලෙසයි.

මේ අතර විවිධ රජයන් විසින් වැඩ ආරම්භ කර අතරමඟ නතර කර දමා ඇති නිවාස 98,000 ඉදිකිරීම් කඩිනමින් අවසන් කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරිය පවසන්නේ ඒ සඳහා රුපියල් මිලියන 24,000ක මුදලක් අවශ්‍ය බවයි.

ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට සුදුසු වැඩ පිළිවෙලක් කඩිනමින් සකස්කර තමන්වෙත ඉදිරිපත් කරන ලෙසද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා නිවාස විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේදී තමන්ට රිසිසේ අන්තනෝමතික ලෙස නිවාස ආධාර හා ණය ලබාදී ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට එලෙස වැඩි වශයෙන් නිවාස අධාර හා ණය ලබාදී ඇති බවද අණාවරණය වී ඇති බවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම පරීක්ෂණ මගින් අණාවරණයවන තොරතුරු අනුව නුසුදුසු ප්‍රතිලාභීන්ගේ ඉදිරි නිවාස ණය හා ආධාර වාරික ලබානොදීමටත්, මෙතෙක් ලබාදී ඇති වාරික යළි ඔවුන්ගෙන් අයකර ගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කරයි.

– ප්‍රදීප් අනුර කුමාර