සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 0.3%කින් පහළට

Spread the love

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 6.0හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.7 දක්වා පහළ ගියේ ය. 2020 සැප්තැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය.

මේ අතර, ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 11.5හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 10.0 දක්වා පහළ ගිය අතර, ආහාර නො වන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 3.5හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 3.8 දක්වා ඉහළ ගියේ ය.

වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වෙනස 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 4.3හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.5 දක්වා ඉහළ ගියේ ය.

2021 සැප්තැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස සියයට 0.47ක් ලෙස වාර්තා වූ අතර, ආහාර සහ ආහාර නො වන කාණ්ඩ දෙකෙහි ම අයිතමවල මිල ගණන්හි සිදු වූ ඉහළ යෑම් මේ සඳහා හේතු විය. තව ද, ආහාර සහ ආහාර නො වන කාණ්ඩවල අයිතමවල මාසික වෙනස්වීම් පිළිවෙළින්, සියයට 0.09ක් සහ සියයට 0.38ක් ලෙස වාර්තා විය. ඒ අනුව, ආහාර කාණ්ඩයේ පරිප්පු, පාන් සහ කුකුල් මස් මිල ගණන් ඉහළ ගිය අතර, සහල් සහ එළවළු මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය. මේ අතර, ප්‍රධාන වශයෙන් සෞඛ්‍ය (පවුලේ වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් සඳහා වන ගෙවීම්) සහ අධ්‍යාපන (ජාත්‍යන්තර පාසල් ගාස්තු: ප්‍රාථමික සහ ද්විතීයික) යන උප කාණ්ඩවල මිල ගණන් ඉහළ යෑම් හේතුවෙන්, ආහාර නො වන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි ඉහළ යෑමක්, සැප්තැම්බර් මාසය තුළ දී වාර්තා විය.

ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන වාර්ෂික ලක්ෂ්‍යමය මූලික උද්ධමනය, 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 4.1හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.0 දක්වා ඉහළ ගියේ ය. තව ද, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2021 අගෝස්තු මාසයේ පැවති සියයට 3.2හි සිට 2021 සැප්තැම්බර් මාසයේ දී සියයට 3.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේ ය.