සෑබෑ සංවර්ධනයට අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි – අගමැති

සෑබෑ සංවර්ධනයට අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි – අගමැති
Spread the love

රටක සැබෑ සංවර්ධනයක් ඇති වීමට නම් ආර්ථික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතු බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. 

අය-වැය 2022, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේය.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ කතාව මෙසේය.

ගරු කථානායකතුමනි, රටක සැබෑ සංවර්ධනයක් ඇති වීමට නම් ආර්ථික සංවර්ධනය වගේම අධ්‍යාත්මික සංවර්ධනයත් තිබිය යුතුයි. පුද්ගලයින් ගුණගරුක, විනයගරුක කිරීමේ කාර්යභාරය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට පැවරි තිබෙන බව ඔබතුමාට මතක් කරනවා.  මෙම කාර්යය භාරය අප විසින් මනාව ඉටු කළ යුතුව තිබෙනවා.

ගරු කථානායකතුමනි, දෙදහස් පන්සිය වසරක් පුරා සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කළ අප, අනාගත ශාසනයේ උන්නතිය උදෙසා ද කටයුතු කළ යුතු බවයි අප විශ්වාස කරන්නේ.  ශ්‍රී ලාංකීය සංස්කෘතිය හා සභ්‍යත්වය, දහමින් දැනුමෙන් හා විනයෙන් පෝෂණය කළ සම්බුද්ධ ශාසනය, අතීතයේ ආරක්ෂා කර ගත් පරිදිම ආරක්ෂා කර ගැනීම අප හැම දෙනාගේම ජාතික වගකීමක් ලෙසයි මා සළකන්නේ. එහිදී බෞද්ධ ධර්මය විකෘති නොකර ආරක්ෂා කර ගැනීම, සංඝ ශාසනය ආරක්ෂා කර ගැනීම, බෞද්ධ සිද්ධස්ථාන දියුණු කිරීම හා ආරක්ෂා කිරීම, සාරධර්ම පිරි සමාජයක් ඇති කිරීම උදෙසා වූ විවිධ ව්‍යාපෘති හා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට අප අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ගරු කථානායකතුමනි, අනෙකුත් සියලු ආගම් සම්බන්ධව කටයුතු කිරීමත් අප අමාත්‍යාංශය විෂය පථයට අයත් වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර ඇති පරිදි සියලුම ආගම්වලට ආරක්ෂාව දීම අපගේ වගකීම වෙනවා.  ඒ අනුව අප විසින් සියලුම අන්‍ය ආගමික සිද්ධස්ථාන සංවර්ධනයට ද එම ආගමික පූජකතුමන්ලාගේ අධ්‍යාපනය හා සුභ සාධනය වෙනුවෙන්ද කටයුතු කරලා තිබෙනවා.  ආගමික හරයන් සමාජගත කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය ශක්තිමත් කිරීම වෙනුවෙන්ද වාර්ෂිකව විශාල මුදලක් බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි සහ මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තු හරහා වැය කරනවා. ආගම් අතර සහජීවනය වැඩි දියුණු කරමින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව ජීවත් වන ජන සමාජයක් බිහි කිරීම වෙනුවෙනුයි අපි මේ සියල්ල කරන්නේ.

ගරු කථානායකතුමනි, සංස්කෘතිය, සාහිත්‍යය හා කලාව උසස් මට්ටමකට පත් කිරීමට අපි කටයුතු කරමින් ඉන්නවා. ඒ අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ජාතික චිත්‍රපට සංස්ථාව, ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය හරහා උසස් කලා නිර්මාණයන් බිහි කිරීමට අවශ්‍ය පරිසරය ඇති කිරීමට අවධානය යොමු කරලා තිබෙනවා.  ඒ වගේම කලා ක්ෂේත්‍රයේ නියැලී සිටින ශිල්පීන්ගේ සුභ සාධනය ඇති කිරීමේ වැඩසටහන් 2022 වර්ෂය තුළ ද අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.  ඉතිහාසය, පුරා විද්‍යාව හා ජාතික උරුමයන් යනු රටක අනන්‍යතාවයයි. ඒ අනුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කරමින් ජාතික අනන්‍යතාව මතු පරපුරට උරුම කර දීමේ අපගේ වගකීම ඉටුකරමින් සිටින බව ප්‍රකාශ කරන්න ඕනේ.

ගරු කථානායකතුමනි, විනයගරුක පුද්ගලයෙකු බිහි කිරීමට බාධාවක් ලෙස මත් ද්‍රව්‍ය භාවිතය හා විවිධ දුරාචාරවලට යොමු වීම සඳහන් කරන්න පුළුවන්. එවැනි පුද්ගලයින් හඳුනා ගනිමින් ආගමික පසුබිමක් යටතේ ඔවුන් පුනරුත්ථාපනය කොට සමාජගත කිරීමේ වැඩසටහනක් අප අමාත්‍යාංශය විසින් දියත් කර තිබෙනවා. එය 2022 වර්ෂයේ ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. මුළු ලොවටම බලපෑ කොවිඩ් තත්ත්වය නිසා සැලසුම් කළ කටයුතු නියමිත ඉලක්ක කරා යාමේ දී විවිධ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වෙනවා. එහෙත් 2022 වසරේ දී අප අමාත්‍යාංශය හා ඒ යටතේ පවතින ආයතන වගේම ජාතික උරුම, ප්‍රාසාංගික කලා රාජ්‍ය අමාත්‍යාංශයේ ද උපරිම දායකත්වයෙන් ආවේණික හා අපේක්ෂිත  ඉලක්කවලට ළඟා වීමට උපායමාර්ග ක්‍රමවේද අනුගමනය කිරීමට අප සැලසුම් කරලා තියෙනවා.  ඒ නිසා අපේ අමාත්‍යාංශය මේ කාර්යයන් කෙරෙහි විශේෂ අවධානය යොමුවෙලා කටයුතු කරන  බව ඔබ තුමාට මතක් කරනවා.යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය