එන්නත්කරණය ගැන ‘රාජ්‍ය ඇමතිනි සුදර්ශනී හා යුද්ධ හමුදාපති’ කළ සුපිරි හෙළිදරව්

එන්නත්කරණය ගැන ‘රාජ්‍ය ඇමතිනි සුදර්ශනී හා යුද්ධ හමුදාපති’ කළ සුපිරි හෙළිදරව්
Spread the love

වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින් සඳහා චීන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත ලබාදීම සඳහා කොවිඩ් මර්දන කාර්යය සාධක බලකාය තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසන අතර  එන්නත නොලැබේවි යැයි බියක් ඇතිකර නොගත යුතු බව යුද්ධ හමුදාපතිවරයා කියනවා.

අද (13) එන්නත්කරණය ගැන මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔවුන් මේ බව පවසා සිටියා.

රාජ්‍ය අමාත්‍යවරි කියා සිටියේ ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා මාත්‍රා 600,000ක පමණ හිඟයක් ඇති නමුත්  එම අවශ්‍ය එන්නත් ප්‍රමාණය ලබාදීමට රටවල් කිහිපයක් එකඟතාව පළකර ඇති බවයි.

නව තීරණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරිය මෙසේ ද කීවාය. “හැමෝම තමන්ගේ ජීවිතේට අදරෙයිනේ. ඉතින් කොහොමහරි බලන්නේ පොරකාලා හරි එන්නත ලබාගන්න. නමුත් දැනට අපි සතුව ඇති එන්නත් ප්‍රමාණය සීමිතයි. දැනට සයිනොෆාම් එන්නත දෙන්නේ අවුරුදු 30-60 අතර අය‍ට. අපි අද තීරණය කළා 60ට වැඩි කිසිදු සංකූලතාවයක් නැති වැඩිහිටියන්ටත් සයිනොෆාම් එන්නත ලබාදෙන්න. එහි දෙවැනි මාත්‍රාව සති හතරෙන් ලබාදිය යුතුයි. ඒ සදහා අවශ්‍ය සයිනොෆාම් එන්නත් තොග ඉදිරියේදී මෙරටට ලැබීමට නියමිතයි‘‘

මේ අතර එන්නත්කරණය ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් යුද්ධ හමුදාපතිවරයා කියා සිටියේ එන්නත නොලැබේවි යැයි බිය නොවිය යුතු බවයි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ යුද්ධ හමුදාපතිවරයා, ‘‘කොවිඩ් එන්නත නොලැබේවි යැයි කිසිවකු බිය විය නැහැ. එන්නත්කරණය සදහා අවශ්‍ය කෙරෙන එන්නත් තොග විදේශයෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යනවා. ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි මාත්‍රාව ලබා දීම සඳහා එන්නත්  සොයා ගැනීමට ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුව  රටවල් කිහිපයක් සමග  සාකච්ඡා කරගෙන යනවා. එම එන්නත බොහෝ දුරට වෙනත් රටකින් ගෙන්වා ගැනීමට හැකියාව තිබෙනවා.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා එක් කෝටි තිස් ලක්ෂයක් රුසියාවෙන් ලබාගැනීමට  රජය කටයුතු කරගෙන යනවා. ඉන් මාත්‍රා ලක්ෂ නමයක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. මේ එන්නත ගබඩා කළ යුත්තේ සෙල්සියස් අංශක රින 20ක් වැනි ඉතාම පහළ උෂ්ණත්වයක. එය පැය දෙකකට වඩා එළිමහනේ තබා ගන්න නොහැකියි. මෙම එන්නතෙන් 15,000ක් මේ වන විට අපට ලැබී තිබෙනවා. ඒවා එන්නත් කර අවශ්‍ය වාර්තා අපි රුසියාවට ලබා දුන්නා.

එමෙන්ම ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ නමයක් ලබන ජුනි මස අග  හෝ ජුලි මස මුල මෙරටට ලැබෙනු ඇතැයි අපි විශ්වාසය කරනවා. ෆයිසර් එන්නතේ ඇති විශේෂත්වය තමයි එය ලබා දිය යුත්තේ එක මාත්‍රාවයි. ඒ අනුව එන්නත්කරණ ප්‍රමාණ සැලකිල්ලට ගෙන එය ගෙන්වා ගැනීමට පියවර ගන්නවා‘‘