සෞඛ්‍ය ඇමැති සඑ රුක්ෂාන් බෙල්ලන අතර සාකච්ඡා GMOA හෙළා දකී

සෞඛ්‍ය ඇමැති සඑ රුක්ෂාන් බෙල්ලන අතර සාකච්ඡා GMOA හෙළා දකී
Spread the love

සෞඛ්‍ය අමාත්‍යවරයා හා වෛද්‍ය ආඥා පනතේ 29 වගන්තිය යටතේ වෛද්‍යවරයෙකු ලෙස ලියාපදිංචියවත් නැති රුක්ෂාන් බෙල්ලන සමඟ කරන සාකච්ඡා පැවැත්වීම හෙළා දකිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (14) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුගේ අත්සනින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා, රුක්ෂාන් බෙල්ලන යන අය විසින් මෙහෙයවන වෛද්‍ය සංසදය නමැති සංගමයක් සමඟ නිල සාකච්ඡා ආරම්භ කර ඇත. රුක්ෂාන් බෙල්ලන හට වෛද්‍ය ආඥා පනතේ 29 වගන්තිය යටතේ වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචියවත් නැත.

විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගෙන් 95%ක පිරිසක් සාමාජිකත්වය දරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෘත්තීය සමිති ආඥා පනතේ හා ආයතන සංග්‍රහයේ පවතින නීතියට අනුව මාරුවීම් මණ්ඩල වල නිත්‍යානුකූල සාමාජිකයෙකු වේ. එම නිත්‍යානුකූල භාවය අහෝසි කරන ලෙස රුක්ෂාන් බෙල්ලන නමැත්තා සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අපව දැනුවත් කරන ලදී.

රුක්ෂාන් බෙල්ලන නමැත්තා හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂක සමයේ ඉතා අසභ්‍ය ලෙස මාධ්‍ය ප්‍රකාශ සිදු කිරීම සම්බන්ධ සිද්ධියක් නිසා වැඩ තහනමට ලක්ව පසුව රාජිත සේනාරත්න ඇමතිවරයාගේ යුගයේ නාරහේන්පිට මධ්‍යම ලේ බැංකුවේ වැඩබලන තනතුරක් හිමි කරගන්නා ලදී. එහිදී පරිත්‍යාගශීලින්ගේ රුධිරය සමාගමකට අයුතු ලෙස ලබා දෙන බවට එල්ල වූ දුෂණ චෝදනා හමුවේ, ඊට හිටපු ඇමතිවරයාවද සම්බන්ධ බව ඔහු විසින් සිදු කල ප්‍රකාශය මාධ්‍ය වල සහ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවල සාක්ෂි ලෙස ඉදිරිපත් වී ඇත.

මෑතක සිට මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ කුළුපගව කටයුතු කරන රුක්ෂාන් බෙල්ලන හෙද සභාපති හිමිනමගේ අනුශාසකත්වය යට‌තේ වෛද්‍ය සංසදයක් යැයි පැවසෙන ආයතනයක් පවත්වා ගෙන යයි. එහි නිලධාරීන් කිහිපදෙනෙකු මිස සාමාජිකත්වයක් තිබේද යන්න පවා සැක සහිතය.

එවන් ආයතනයක සභාපති යැයි කියා ගන්නා වෛද්‍ය ආඥා පනතේ 29 වගන්තිය යටතේ ලියාපදිංචියවත් නැති රුක්ෂාන් බෙල්ලනගේ හඩට කන් දී වැඩකිරීමට තරම් කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා පහතට නොවැටිය යුතු බව අප පෙන්වා දෙමු.

නිත්‍යානුකූල මාරු මණ්ඩල සාමාජිකයන් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ එම අයිතියට බලපෑම් කරන ඕනෑම මොහොතක දැඩි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වීමට පසුබට නොවන බවත්, ඒ නිසා බිඳවැටෙන සෞඛ්‍ය සේවාවේ වගකීම සෞඛ්‍ය ඇමතිවරයා විසින් භාරගත යුතු බවත් අවධාරණය කරමු.