හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්

හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක්
Spread the love

ශ්‍රී ලංකාව හරිත රටක් බවට පත් කිරීම සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛතා ක්‍රමවත් ලෙස හා තිරසර ලෙස ඉටු කිරීමට “හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  තීරණය කර තිබේ.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මෙය ක්‍රියාත්මක වේ.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගම හා ලංකා පොහොර සමාගම ඒකාබද්ධ කර ජාතික කාබනික පොහොර හා බෙදාහැරීමේ සමාගම ලෙස ක්‍රියාත්මක කිරිම, ඝන හා දියර කාබනික පොහොර ප්‍රමිතියට අනුකූලව නිෂ්පාදනය සදහා දිරිගැන්වීම, නිසි වේලාවට ගොවීන්ට පොහොර නොමිලේ ලබාදීම, දිස්ත්‍රික්කය තුළ පොහොර අවශ්‍යතාව සපිරීම, වී, බඩඉරිගු හා අනෙකුත් ධාන්‍ය, එළවළු පලතුරු නිෂ්පාදනය වේගවත් කිරීම, හරිත කාෂිකර්මය සඳහා යෝග්‍ය ගුණාත්මක බීජ හා පැළ ප්‍රවර්ධනය දිරිගැන්වීම, කෘෂිකර්ම වගා කටයුතුවලට සම්බන්ධ ඉහළ සිට පහළට සියලුම නිලධාරීන් සම්බන්ධීකරණය, ආහාර භෝග නිෂ්පාදන බෙදාහැරීම,  කාබනික ආහාර පරිභෝජනය පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපන හා සන්නිවේදන වැඩසටහන් ප්‍රවර්ධනය ඇතුළු කාර්යයන් රැසක් සඳහා මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රමුඛතාවය දිය යුතු බවට ජනාධිපති උපදෙස් දී ඇත.

දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ අර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සම්බන්ධයෙන් පිහිටුවා ඇති ජනාධිපති කාර්ය සාධක බලකායන් දෙක සමග අවශ්‍ය සම්බන්ධීකරණය කිරීම ද මෙම ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් කළ යුතුය.

ජනාධිපතිතුමා විසින් සෑම සති දෙකකට වරක් පැවැත්වීමට සැලසුම් කර ඇති ජාතික හරිත ආර්ථික මණ්ඩලය (National Green Economy Council) සංවිධානය කිරීමට සැලසුම් කිරීමේ වගකීම ද හරිත කෘෂිකර්ම ක්‍රියාන්විත මාධ්‍යස්ථානයට පැවරේ.