හොර ඩොලර් මාරු කිරීමට නීති දැඩි වෙයි

හොර ඩොලර් මාරු කිරීමට නීති දැඩි වෙයි
Spread the love

විධානයන්ට අනුකූල නොවූ මුදල් හුවමාරු කරන්නන්ට එරෙහිව මහ බැංකුව නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධරණය කරයි.

මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වන අතර එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහත පළ වේ.

2017 අංක 12 දරන විදේශ විනිමය පනත (පනත) යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත නොවන ක්‍රියාකාරකම් වල බලයලත් මුදල් හුවමාරු කරන්නන් නිරත වන බවට ලද පැමිණිලි කිහිපයකට ප්‍රතිචාර වශයෙන්, ශ්‍රී ලංකා මහ බැංකුව බලයලත් මුදල් හුවමාරු කරන්නන්ගේ ව්‍යාපාර ස්ථාන සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණ මාලාවක් පවත්වමින් සිටින අතර එමගින් බලයලත් මුදල් හුවමාරු කරන්නන් පිළිබඳ නිරීක්ෂණ සහ අධීක්ෂණ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමට අපේක්ෂා කරයි.

2021 නොවැම්බර් සහ දෙසැම්බර් මාස වලදී පවත්වන ලද ස්ථානීය පරීක්ෂණ අතරතුරදී, පහත දක්වා ඇති බලයලත් මුදල් හුවමාරු කරන්නන්, පනත යටතේ නිකුත් කරන ලද විධානයන්ට අනුගත වී නොමැති බව අනාවරණය වී ඇත. ඒ අනුව, මුදල් අමාත්‍යවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව නියමිත කාලසීමාවක් තුළ අදාල විධානයන්ට අනුගත වෙමින් කටයුතු කරන ලෙස දන්වා ඔවුන්ට නිවේදන නිකුත් කරන ලදී.

  1. වෙන්නප්පුව, සුපිරි වෙළෙඳසැල් සංකීර්ණය, නො. 12 හි නිව් නටාෂා (පුද්.) සමාගම
  2. වෙන්නප්පුව, හලාවත පාර, නො. 157 හි ජෝර්ජ් මයිකල් හෝල්ඩින්ග්ස් (පුද්.) සමාගම
  3. කොළඹ 06, ගාලු පාර, නො. 55 හි රෝයල් මනි එක්ස්ජේන්ජ් (පුද්.) සමාගම
  4. කොළඹ 06, ගාලු පාර, නො. 57 හි ප්‍රසන්න මනි එක්ස්ජේන්ජ් (පුද්.) සමාගම

නිවේදන හරහා සන්නිවේදනය කරන ලද ගැටලු නිවැරදි කිරීමට, අදාල විධානයන්ට අනුගත නොවූ බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත්, ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීමට සහ අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදුවනු ඇත.

බැංකු විසින් මුදල් හුවමාරුකරුවන් හට ලබා දෙන අනුපාත වලට වඩා වැඩි අනුපාතයන්ට විදේශ විනිමය ගනුදෙනු කිරීමට බලයලත් මුදල් හුවමාරුකරුවන් හට බලයක් නොමැති බව තවදුරටත් මහජනතාවට දන්වා සිටිනු ලැබේ.