අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අති පූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (06) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත් වෙන අතර ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පුජෝත්ස්වය පැවැත්වීමට සැළසුම් කර තිබේ.
අපවත් වී වදාල අති පූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර නාහිමියන්ගේ දේහය නුගේගොඩ, පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ තැන්පත් කර ඇති අතර දේහය රැගත් රිය පෙරහැර පස්වරු 1.00ට එම ස්ථානයෙන් පිටත්වීමට නියමිත අතර ආදාහන පූජොත්ස්වයේ වැඩ කටයුතු පස්වරු 3.00ට කොළඹ නිදහස් චතුරස්රයේදී ආරම්භ කිරීමට සැළසුම් කර ඇත.
1915 වසරේ උපත ලද උන්වහන්සේ වයස අවුරුදු 13 දී පැවිදි දිවියට එළඹ වසර 90කට ආසන්න කාලයක් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සිය සේවය ඉටු කරනු ලැබීය. ශඩ් භාෂා පරමේෂ්වර පඬිරුවනක් වූ අතිපූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර මහ නාහිමියන්, අග්ග මහාපණ්ඩිත, සාහිත්‍ය ශූරී ත්‍රිපිටකාචාර්ය, භාෂාන්තර විශාරද, ජිනශාසන, කීර්ති ශ්‍රී ග්රන්ථ විශාරද, සංස්කෘතික චක්‍රවර්තී, රාජකීය පණ්ඩිත ආදී ගෞරව නම් රාශියකින් ද පිදුම් ලබා ඇත.
සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ භාෂා ශාස්ත්‍රයන් හි උණ්නතිය සඳහා අති විශාල මෙහෙවරක් ඉටු කල අතිපූජ්‍ය දවුල්ලෙන ඤාණිස්සර මහ නාහිමිට ජාතික හා ශාසනික වශයෙන් මතුවන ප්රශ්නවලදී වඩාත් ශාස්ත්‍රීය හා ධර්ම විනයානුකුල හේතු සාධක සහිතව ඒවාට විසදුම් ඉදිරිපත් කරන ශික්ෂූන් වහන්සේ අතර ප්රමුඛත්වයක් හිමි වී තිබුණි.
මෙරට තුළ සුවිශේෂී ධර්ම දූත සේවාවක නිරත වූ ඤාණිස්සර නා හිමයෝ විද්‍යෝදය මහා පිරිවෙනේදී සහ මහරගම සිරි වජිරඤාන ධර්මායතනයේදී ශිෂ්යෝ භික්ෂූන් වහන්සේලාට ත්‍රිපිටක ධර්මයත්, සිංහල, ඉංග්‍රීසි, පාලි, සංස්කෘතික භාෂා පිළිබඳ දැනුමත් ලබාදීම සිදු කළේය.
[rns_reactions]