අවසන් මොහොතේ අත්දැකිම් මතින් මහේලගේ මුම්බායි පිල IPL ශූරතාව දිනයි..

Spread the love

දස වන වරට පැවති IPL තරඟාවලියේ අවසන් තරඟයේ අවසන් මොහොතේ සුපිරි ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

අතිශය තියුණු අවසානයක් වෙත ලඟා වූ මේ තරඟය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී  පැවැති අතර ලකුණක තියුණු ජයක් අත්කර ගනිමින් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ මෙවර ශූරතාවට හිමිකම් කීහ.  ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන මහතා මුම්බායි කණ්ඩායමේ ප්‍රදාන පුහුණුකරු ලෙස කටයුතු කළේය.
ජයග්‍රහණය සදහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායමට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 128 ක් පමණි. තරගය ජයගැනීම සදහා අවසන් ඕවරයේදී ලකුණු 11 ක් රැස්කරගත යුතුව තිබුණද නායක ස්ටීවන් ස්මිත් (51) ප්‍රමුඛ පූනේ පිතිකරුවෝ එම ලකුණු සංඛ්‍යාව රැස්කිරීමට අපොහොසත් වූහ.
අවසන් ඕවරයේදී පූනේ කණ්ඩායමේ කඩුලු 3 ක් බිඳවැටුණු අතර ඉන් දෙකකටම හිමිකම්කී මිචෙල් ජොන්සන් තරගයේ ජයග්‍රහණය මුම්බායි කණ්ඩායම වෙත නතුකර දුන්නේය. පූනේ කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන් අජින්ක්‍යා රහනේගේ (44) කඩුල්ලත් සමගින් ලකුණු 26 කට ජොන්සන් දවාගත් කඩුලු සංඛ්‍යාව තුනකි.
පන්දු 50 කදී වාර්තා වූ ස්මිත්ගේ අර්ධ ශතකයට හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් ඇතුළත් වූ අතර පන්දු 38 කදි වාර්තා වූ රහනේගේ ඉනිම හතරේ පහර පහකින් සමන්විත විය.
කාසියේ වාසිය දිනා පළමු පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් රැස්කිරීමට සමත් වූහ. පූනේ කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නන් වූ ජයදේව් උනඩ්කට්ගේ සහ වොෂින්ටන් සුන්දර්ගේ පන්දු යැවීම හමුවේ මුම්බායි පිතිකරුවන්ට පළමු ඕවර 5 තුළදී කඩුලු දෙකක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 16 ක් පමණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ ජයදේව් උනඩ්කට් ඕවර 4 ක් යවමින් ලකුණු 19 කට කඩුලු දෙකක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර කඩුලු ලබාගැනීමට නොහැකිවුවද මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන්හට දැඩි පීඩනයක් එල්ල කළ වොෂින්ටන් සුන්දර් සිය ඕවර 4 ලකුණු 13 කට සීමා කිරීමට සමත් විය.
සෙසු පිතිකරුවන් අසාර්ථක වනවිට සාර්ථක පිතිහරඹයක නිරත වූ කෘනාල් පාණ්ඩ්‍යා පන්දු 38 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමග ලකුණු 47 ක් රැස්කරමින් පූනේ කණ්ඩායමට තරගයක් දියහැකි ලකුණු සංඛ්‍යාවක් කරා මුම්බායි කණ්ඩායම රැගෙන ගියේය.

[rns_reactions]