ආසියානු පාසැල් රට හරහා දිවීමේ ජය ලංකාවට

Spread the love

හොංකොංහි පසුගියදා නිමාවට පත්වූ රටවල් 9ක සහභාගීත්වයෙන් පැවැති 3 වැනි ආසියානු පාසල් රට හරහා දිවීමේ ශූරතාවලියේදී අවුරුදු 17න් පහළ බාලිකා හා බාලක ශූරතා දෙකම දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

ඒ අනුව අවුරුදු 17න් පහළ බාලිකා තරගාවලියේදී වලල රත්නායක මහ විදුහලේ ක්‍රීඩක-ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට දස්කම් මතුව තිබූ අතර, ඒ අතුරින් චාමිනී හේරත්ට රන් පදක්කමත්, ජයන්ති කනකරත්නට රිදී පදක්කමත්, ප්‍රසන්ති රත්නායකට ලෝකඩ පදක්කමත් හිමිවීම කැපී පෙනුණි.

අවුරුදු 17න් පහළ බාලක තරගාවලියේදී කෑගල්ල රන්දිවල විදුහලේ චමිඳු මධුසංක රත්නායකට ලෝකඩ පදක්කමත්, වලල රත්නායක විදුහලේ හර්ෂ කරුණාරත්නට සිවුවැනි තැනත්, එම විදුහලේම සිතුම් සංජය ඩෙන්සිල්ට හයවැනි තැනත් හිමිවිය.

කෙසේ වුවත් මෙම තරගාවලියේ අවුරුදු 17න් පහළ කාන්තා අනු ශූරතාව හා තෙවැනි ස්ථාන පිළිවෙළින් තායිලන්තයට හා සත්කාරකයන්ට හිමිවෙද්දී බාලක අනු ශූරතාව හා තෙවැනි ස්ථාන පිළිවෙළින් චීනයට හා ඉන්දුනීසියාවට හිමිවිය.