ඉන්දියාවේ නිර්භයා ඝාතකයින් සිවුදෙනාම පෝරකයට

ඉන්දියාවේ නිර්භයා ඝාතකයින් සිවුදෙනාම පෝරකයට
Spread the love

ඉන්දියාවේ දිල්ලි අගනුවරදී 2012 වසරේදී සිසුවියක් සමූහ වශයෙන් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පුද්ගලයින් සිව් දෙනෙකු එල්ලා මරා දමා තිබේ.

ආක්ෂේ තාකූර්, විනේ ෂර්මා, පවන් ගුප්තා සහ මුකේෂ් සිං යන සිව් දෙනාට මරණ දඬුවම් නියම කෙරුණේ, 2013 වසරේදීය.

ඔවුන් සිව් දෙනා නවදිල්ලි නුවර අධිආරක්ෂිත තිහාර් බන්ධනාගාරයේදී එල්ලා මරා දමනු ලැබූහ. ඉන්දියාවේ එලෙස මරණ දඬුවම ක්‍රියාත්මක වූයේ 2015 වසරෙන් පසු පළමු වරටය.

අදාළ සිසුවිය ජීවිතක්ෂයට පත්වූයේ, ගමන් කරමින් තිබූ බස් රථයක් තුළදී පුද්ගලයින් 6 දෙනෙකු විසින් දූෂණය කරනු ලැබීමෙන් දින කිහිපයකට පසුවය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධයක් පළවූ අතර එමගින් ස්ත්‍රී දූෂණවලට එරෙහිව නව නීති සම්පාදනය කිරීම සඳහා පෙළඹවීමක් ඇති විය.

ඉන්දීය නීතිය අනුව ඇයගේ සැබෑ නම අනාවරණය කිරීමට නොහැකි හෙයින් 23 හැවිරිදි භෞතචිකිත්සක සිසුවියක වූ ඇයව හඳුන්වන ලද්දේ, නිර්භයා යනුවෙනි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ අතර සිටි රාම් සිං නමැත්තා 2013 වසරේදී බන්ධනාගාරය තුළදී මිය ගොස් තිබිණි. ඔහු සිය දිවි හානි කරගෙන තිබුණු බවට විශ්වාස කෙරිණි.

මෙම සිද්ධිය වන අවස්ථාවේ වයස අවුරුදු 17ක්ව සිටි තවත් සැකකරුවෙකු වසර තුනක පුනරුත්ථාපන කාලයකින් පසු 2015 වසරේදී මුදා හැරිණි. බාලවයස්කාර තැනැත්තෙකුට ඉන්දීය නීතිය අනුව දිය හැකි උපරිම දඬුවම එයයි.

සිය දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට ලිහිල් කර ගැනීම සඳහා අදාළ වරදකරුවන් සිව් දෙනා පසුගිය මාස කිහිපය තුළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කර තිබිණි. එහෙත්, ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් නිෂ්ප්‍රභ කළේය. ඒ අනුව, ඔවුන්ට නීතිමය විකල්පයක් නොමැති විය. එල්ලා මැරීමට පැය කිහිපයකට පෙර අවසන් මොහොතේ ගොනු කළ අභියාචන ද නිෂ්ප්‍රභ කෙරිණි.

සිකුරාදා (මාර්තු 20) ඔවුන් එල්ලා මරා දැමීමෙන් මිනිත්තු කිහිපයකට පසු වින්දිත සිසුවියගේ මව පැවසුවේ, “මම මගේ දුවගේ ඡායාරූපය ඉඹලා කිව්වා අන්තිමට එයාට සාධාරණයක් ඉෂ්ට වුණා කියලා,” යනුවෙනි.

ඇයගේ පියා පැවසුවේ, තමන් තුළ “අධිකරණය පිළිබදව පැවති විශ්වාසය යළි ගොඩ නැගුණු,” බවය.

වරදකරුවන් එල්ලා මරා දැමුණු බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව දැඩි කිරීම සඳහා පොලිස් නිලධාරීන් සහ හමුදා භටයින් විශාල සංඛ්‍යාවක් යොදවා තිබිණි.

ඉන්දීය සිසුවියක දූෂණය කර මරා දැමූ වරදකරුවන් සිව් දෙනා එල්ලා මරයි

පුවරු රැගත් පිරිසක් බන්ධනාගාරයේ පිවිසුම් දොරටුවලින් පිටත රැස්වී මරණ දඩුවම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් සතුට පළ කළහ.

ඇතැමෙකු “දූෂකයින්ට මරණය” යනුවෙන් කෑගැසූ අතර තවත් පිරිසක් අධිකරණයට ස්තුති කරමින් පෝස්ටර් ප්‍රදර්ශනය කළහ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිකුරාදා පෙරවරුවේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ, “යුක්තිය ඉටුවූ” බවය. ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, “කාන්තා සවිබලගැන්වීම ප්‍රමුඛ කරගත් ජාතියක් ගොඩනැගිය යුතු,” බවය.

මෙම නඩුව මගින් කාන්තාවන්ට එරෙහි ස්ත්‍රී දූෂණ හා ලිංගික හිංසනය කේන්ද්‍රගත වුව ද, කාන්තාවන්ට එරෙහි අපරාධ අවම වන බවට කිසිදු සලකුණක් නොමැත.

ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශය මෑතකදී නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව, 2018 වසරේදී ස්ත්‍රී දූෂණ 33,977ක් පොලිසිය ලියාපදිංචි කර තිබේ. එය සාමාන්‍යයෙන් දිනකට නඩු 93 කි.

නිර්භයාට සිදුවූයේ කුමක් ද?

2012 වසරේ දෙසැම්බර් 16 වන දා රාත්‍රී 8.30ට පමණ එම සිසුවිය සිය පිරිමි මිතුරෙකු සමග රාජකාරිය අවසන් වූ බස් රථයකට ගොඩ වූවාය. ඔවුන් ඉහළ පෙළේ වෙළෙඳ සංකීර්ණයක චිත්‍රපටයක් නරඹා ආපසු නිවෙස් කරා පැමිණෙමින් සිට තිබිණි.

එහිදී බස් රථය තුළ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ඔවුන් දෙදෙනාට පහර දී ඇය දූෂණය කර තිබිණි. ඊට පෙර ඇයට යකඩ මුගුරකින් දැඩි ලෙස පහර දී තිබිණි. ඇයගේ මිතුරාට ද පහර දී තිබිණි.

පසුව ඔවුන් දෙදෙනා මාර්ගයට තල්ලු කර දමා ගොස් තිබිණි. නිර්වස්ත්‍රව ලේ තැවරුණු ඔවුන් මාර්ගයේ වැටී සිටිනු දුටුවන් පොලිසියට දැනුම් දී තිබිණ.

සති දෙකකට පසුව දිල්ලි රෝහලකදී ඇයගේ සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීමත් සමග වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගිය සිංගප්පූරුවේ රෝහලකදී ඇය මිය ගියාය.