ඉන්දීය ඉතිහාසයේ අගවිනිසුරුවරයෙකු වූ පළමු බෞද්ධයා

ඉන්දීය ඉතිහාසයේ අගවිනිසුරුවරයෙකු වූ පළමු බෞද්ධයා
Spread the love

භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බී.ආර්. ගවයි) ඉන්දියාවේ 52 වන අගවිනිසුරුවරයා ලෙස අද (මැයි 14 වැනිදා) දිවුරුම් දුන්නේය. ඉන්දියාවේ පළමු බෞද්ධ අගවිනිසුරුවරයා බවට පත්වූ ඔහු විනිසුරු බාලක්‍රිෂ්ණන්ගෙන් පසු අගවිනිසුරු ධූරයට පත් දාලිත් කුලයේ දෙවැන්නා බවට ද පත්විය.

64 හැවිරිදි ගවයි ඉන්දියාවේ නව අගවිනිසුරුවරයා ලෙස ජනාධිපති ද්‍රෞපදී මුර්මු ඉදිරියේ රාෂ්ට්‍රපති භවන්හි පැවති චාම් උත්සවයකදී දිවුරුම් දෙන ලදී.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 කි.

මෙතෙක් එම ධූරය දරූ අගවිනිසුරු සංජීව් ඛන්නාගේ ධූර කාලය මැයි 13 වැනිදා අවසන් විය.

මීළඟ අගවිනිසුරුවරයා ලෙස විනිසුරු භූෂන් රාමක්‍රිෂ්ණ ගවයි (බීආර් ගවයි) ගේ නම නිර්දේශ කරනු ලැබුවේ විනිසුරු ඛන්නා විසිනි.

ඉන්දීය දලිත් කුලයේ දෙවන අගවිනිසුරු

විනිසුරු බී.ආර්. ගවයි ඉන්දියාවේ දෙවන දලිත් අගවිනිසුරුවරයා බවට පත්වූ අතර විනිසුරු ගවයිට පෙර, විනිසුරු කේ.ජී. බාලක්‍රිෂ්ණන් 2007 දී පළමු දලිත් අගවිනිසුරුවරයා බවට පත්විය.

ඡායාරූප මූලාශ්‍රය,ANI

ඡායාරූප ශීර්ෂ වැකිය,බී.ආර්. ගවයි ඉන්දියාවේ දෙවන දලිත් අගවිනිසුරුවරයා වන අතර පළමු බෞද්ධ අගවිනිසුරුවරයා ය

විනිසුරු බී.ආර්. ගවයි ඉන්දියාවේ දෙවන දලිත් අගවිනිසුරුවරයා බවට පත්වූ අතර විනිසුරු ගවයිට පෙර, විනිසුරු කේ.ජී. බාලක්‍රිෂ්ණන් 2007 දී පළමු දලිත් අගවිනිසුරුවරයා බවට පත්විය.

බී.ආර්. ගවයි 1960 නොවැම්බර් 24 වන දින මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අම්රාවතී හි උපත ලැබූ අතර 1985 දී සිය නීති ජීවිතය ආරම්භ කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨත්ව ලැයිස්තුවේ විනිසුරු ගවයිගේ නම ඉහළින්ම තිබිණි.

2025 නොවැම්බර් 23 දක්වා විනිසුරු ගවයි ධුරය දරනු ඇත, එනම්, ඔහු මාස ​​හතකින් පමණ ධූරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.

නීතිඥ වෘත්තිය ආරම්භ කිරීම

මහාරාෂ්ට්‍රයේ අමරාවතී හි පදිංචි විනිසුරු බී.ආර්. ගවයි 1985 මාර්තු 16 වන දින නීතිඥ වෘත්තිය ආරම්භ කළේය.

1987 දක්වා ඔහු බොම්බේ මහාධිකරණයේ හිටපු නීතිපති සහ විනිසුරු රාජා එස් බෝසාලේ සමඟ කටයුතු කළේය.

1990 න් පසු, ඔහු බොම්බේ මහාධිකරණයේ නාග්පූර් විනිසුරු මඩුල්ල හමුවේ, ප්‍රධාන වශයෙන් ව්‍යවස්ථාමය සහ පරිපාලන නීතිය පිළිබඳ නඩු කටයුතු සඳහා පෙනී සිටියේ ය.

මෙම කාලය තුළ ඔහු නාග්පූර් මහ නගර සංස්ථාව, අමරාවතී මහ නගර සංස්ථාව සහ අමරාවතී විශ්වවිද්‍යාලයේ ස්ථිර නීතිඥවරයා ද විය.

1992 අගෝස්තු සිට 1993 ජූලි දක්වා කාලය තුල, ගවයි බොම්බේ මහාධිකරණයේ නාග්පූර් විනිසුරු මඩුල්ලේ සහකාර රජයේ නීතිඥවරයා සහ රජයේ අතිරේක නීතිඥවරයා ලෙස පත් කරන ලදී.

2000 ජනවාරි 17 වන දින සිට ඔහු රජයේ අභිචෝදක සහ රජයේ නීතිඥවරයා ලෙස පත් කරන ලදී.

2003 නොවැම්බර් 14 වන දින ඔහු බොම්බේ මහාධිකරණයේ අතිරේක විනිසුරුවරයෙකු ලෙස උසස් වීම් ලැබීය.

2005 නොවැම්බර් 12 වන දින, විනිසුරු බී.ආර්. ගවයි ස්ථිර මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කරන ලදී.

2019 මැයි 24 වන දින ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කෙරුණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිසුරු මඩුල්ලේ ප්‍රධාන තීන්දුවලට සම්බන්ධ වීම

විනිසුරු බී.ආර්. ගවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ ව්‍යවස්ථාමය විනිසුරු මඩුලු රැසක සාමාජිකයෙකු විය. මෙම කාලය තුළ ඔහු ඓතිහාසික තීන්දු රැසකටම දායක විය.

2019 දී ජම්මු සහ කාශ්මීරයට විශේෂ තත්ත්වය ලබා දුන් 370 වන වගන්තිය ඉන්දීය මධ්‍යම රජය විසින් අවලංගු කරන ලදී. ඔහු මධ්‍යම රජයේ එම තීරණය ඒකමතිකව තහවුරු කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු විය.

දේශපාලන කටයුතු සඳහා අරමුදල් සැපයීම සඳහා භාවිතා කරන ලද මැතිවරණ බැඳුම්කර යෝජනා ක්‍රමය අහෝසි කළ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ද විනිසුරු ගවයි සාමාජිකයෙකු විය.

රුපියල් 1,000 සහ රුපියල් 500 නෝට්ටු අවලංගු කිරීමට ඉන්දීය මධ්‍යම රජය 2016 වසරේදී ගත් තීරණය හතරට එකක බහුතරයකින් තහවුරු කළ විනිසුරු මඩුල්ල ද විනිසුරු ගවයි නියෝජනය කළේය.

උපලේඛනගත කුල තුළ උප වර්ගීකරණයන් සිදු කිරීමට ප්‍රාන්තවලට ව්‍යවස්ථාපිත අයිතිය ඇති බවට හයට එකක් ලෙස බහුතරයකින් තීන්දු කළ සත් පුද්ගල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විනිසුරු මඩුල්ලේ ද විනිසුරු ගවයි සාමාජිකත්වය දරුවේ ය.

2024 නොවැම්බර් මාසයේදී, විනිසුරු බී.ආර්. ගවයිගේ ප්‍රධානත්වයෙන් යුත් ද්වි පුද්ගල-විනිසුරු මඩුල්ලක් විත්තිකරුවන්ගේ දේපළ බුල්ඩෝසර් යොදා විනාශ කිරීම විවේචනය කළේය.

මෙම නඩුවේදී ඔහු තීන්දු කළේ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර කිසිවෙකුගේ දේපළ කඩා දැමීම නීතියට පටහැනි බවයි.

රාහුල් ගාන්ධිගේ අපහාස නඩුව විභාග කිරීමෙන් ඉවත් වීමට යෝජනා කිරීම

මෙම නඩුව රාහුල් ගාන්ධිට එරෙහි සාපරාධී අපහාස චෝදනා සම්බන්ධ නඩුවක් විය. නඩු විභාගය අතරතුර, 2023 ජූලි 21 වන දින විනිසුරු මඩුල්ල ගුජරාට් ප්‍රාන්ත රජයට නොතීසි නිකුත් කළේය.

මෙම නඩුව විභාගය අතරතුර, විනිසුරු ගවයි නඩුවෙන් ඉවත් වීමට ඉදිරිපත් විය.

“මේ කාරණය සම්බන්ධයෙන් මගේ පැත්තෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මගේ තාත්තා අවුරුදු 40ක් කොංග්‍රස් පක්ෂයට සම්බන්ධ වෙලා හිටියා. එයා කොංග්‍රස් පක්ෂයේ සාමාජිකයෙක් නෙමෙයි, ඒත් එයාලගේ උදව්වෙන් එයා රාජ්‍ය සභාවට සහ ලෝක් සභාවට සම්බන්ධ වුණා. මගේ සහෝදරයාත් කොංග්‍රසයටත් සම්බන්ධයි.” ඒ නිසා, දැන් ඔයාලා හැමෝම තීරණය කරන්න ඕනේ මම මේ නඩුව අහන්න ඕනේද කියලා? ඔහු පැවසීය.

මෙම කාරණය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම එකඟතාවයෙන් පසුව, විනිසුරු ගවයි, විනිසුරු පී.කේ. මිශ්‍රා සමඟ නඩුව විභාග කළේය.

විනිසුරු බී.ආර්. ගවයිගේ පියා වන රාමක්‍රිෂ්ණ සූර්යභන් ගවයි, ඉන්දීය ජනරජ පක්ෂයේ (ආර්පීඅයි) නිර්මාතෘවරයා විය.

2006 සහ 2011 අතර කාලය තුළ ඔහු බිහාර්, සිකිම් සහ කේරළ ආණ්ඩුකාරවරයා ලෙසද සේවය කළේය.

ඔහු ගවායි නාග්පූර්හි දීක්ෂභූමි අනුස්මරණ කමිටුවේ සභාපතිවරයා ද විය.

source: bbc.com/sinhala

Post Comment