එංගලන්තය ශ්‍රී ලංකා තරගාවලිය ජය ගනී

එංගලන්තය ශ්‍රී ලංකා තරගාවලිය ජය ගනී
Spread the love

සංචාරක ශ්‍රී ලංකා පිල හා එංගලන්තය අතර ලෝඩ්ස් ක්‍රිඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ලකුණු 190ක ජයක් එංගලන්ත පිල හිමිකර ගත්තේය. තරග 3කන් සමන්විත ටෙස්ට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම 2- 0 ක් ලෙස තරගාවලිය ජය ගැනිමට එංගලන්තය සමත් විය.

ජයග්‍රහණය වෙනුවෙන් එල්ල වූ ලකුණු 483ක දැවැන්ත ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල තරගයේ සිවුවැනි දිනය නිමාවීමට පෙර සියලු දෙනා ලකුණු 292කට දැවී ගියහ. ඊයේ අයහපත් ආලෝක තත්ත්වය හමුවේ තෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් දැවී ලකුණු 53ක් ලබා සිටි අතර, ‘නයිට් වොච්මන්‘ ලෙස පිටියට පිවිසි ප්‍රභාත් ජයසූරිය අද දිනයේ ලකුණු 4ක් ලබා දැවී ගියේය.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න තම 38 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර සිටියදී ස්ටෝන්ගේ පන්දුවකට ලකුණු 55කට දැවීගිය අතර, අනතුරුව එක්වූ චන්දිමාල් හා මැතිව්ස් දෙදෙනා 5වැනි කඩුල්ලට පන්දු 73කදී ලකුණු 59ක සම්බන්ධාවක් ගොඩනඟා තිබියදී මැතිව්ස් ලකුණු 36කට දැවී ගියේය. පන්දු 62කදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 58ක් ලබා තම 28 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ චන්දිමාල්ගේ කඩුල්ල දවා ගැනීම පන්දු යැවූ ඇට්කින්සන්ගේ අපමන ප්‍රීතියට හේතු විය.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිමට තවත් ලකුණු 8ක් එකතු වෙද්දී මෙම සංචාරයේ ලකුණු අතර සිටි කමිඳු මෙන්ඩිස් දැවී යෑම ශ්‍රී ලංකා පිලට බලවත් පාඩුවක් විය. කමිඳු, ඇට්කින්සන්ගේ වේග පන්දුවට එල්ල කළ පහර දෙවැනි ස්ලිප්හී සිටි ඩකට්ගේ අතටම උඩ පන්දුවක් ලෙස පැමිණි අතර, එවිට ඔහු ලකුණු 4කට සීමාවී ගියේය.

අනතුරුව 8 වැනි කඩුල්ලට නායක ධනංජය සමඟ මිලාන් රත්නායක එක්වූ අතර, පන්දු 95කදී ලකුණු 73ක් එක් කර ගැනීමට සමත්ව තිබියදී  ධනංජය ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගියේය. පන්දු 71කදී හතරේ 7ක් සමඟ නායකයා රැස්කළ ඉනිම තම ටෙස්ට් දිවියේ 16 වැනි ටෙස්ට් අර්ධ ශතකය විය.

පළමු ඉනිමේ එංගලන්තයට වඩා ලකුණු 231ක් ශ්‍රී ලංකා පිල පිටුපසින් සිටි අතර, අද (31) තෙවැනි දිනය නිමාවෙද්දී දෙවැනි ඉනිමට එංගලන්ත පිල තවත් ලකුණු 251ක් ලබා ගත්තේය. පළමු ඉනිමට ලකුණු රැස්කල ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 196කට දැවී ගිය අතර, එංගලන්ත පිල පළමු ඉනිමට සියලු දෙනා දැවී ලකුණු 427ක් රැස්කර ගත්තේය.

ක්‍රිකට් ක්‍රීඩාවේ රන් දෙවොල ලෙස ප්‍රචලිත ලොඩ්ස් ක්‍රීඩාංගණයේ ඉනිම දෙකේදීම ශතක රැස්කරගත් සිවුවැනි පිතිකරු ලෙස ඉතිහාසයට එක්වූ ජෝ රුට් පළමු ඉනිමේදී ලකුණු 143ක් හා දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 103ක් රැස්කරමින් ක්‍රිකට් වාර්තා පොතට එක් විය. මෙයට පෙර ලෝඩ්ස් පිටියේදී මෙවැනි දස්කමක් දක්වා ඇත්තේ 1939දී කොදෙව් ක්‍රීඩක ජෝජ් හේඩ්ලි ලකුණු 106ක් හා 107ක්, 1990දී එංගලන්තයේ ග්‍රෙහෑම් ගූජ් ලකුණු 333ක් හා 123ක්, 2004දී එංගලන්තයේ මයිකල් වෝන් ලකුණු  103ක් හා 101ක් ලබා ගෙනය.

ශ්‍රී ලංකාවේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර ටෙස්ට් ලකුණු 12400ක් ලබා ලොව වැඩිම ටෙස්ට් ලකුණු ලැබූ ලොව 6 වැනි පිතිකරු බවට පත්ව සිටින අතර, එම ස්ථානය ගැනීමට ජෝ රූට් තවත් ලකුණු 23ක් ලබාගත යුතු වේ. රූට් 50 වැනි ජාත්‍යන්තර ශතකය ලෝඩ්ස් පිටියේ වාර්තා කළ අතර, එය එක්දින තරගවලදී 16ක් හා ටෙස්ට් තරගවලදී ශතක 34ක් ලෙස වාර්තා පොතේ ලියැවුණි.

ශ්‍රී ලංකා අංක 7 පිතිකරු කමිඳු මෙන්ඩිස් පළමු ඉනිසේදී පන්දු 120කදී හයේ 3ක් හා හතරේ 8ක් සමඟ ලකුණු 74ක් ලබාගත් අතර, එංගලන්තය වෙනුවෙන් වේගයෙන් ලකුණු අතරට පිවිසි ඇට්කින්සන් සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ අතර. එය හයේ 4ක් හා හතරේ 14ක් සමඟ පන්දු 115කදී  ලකුණු 118ක් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළ අතර, තරගය පුරා කඩුලු 7ක් බිදහෙලූ ගස් ඇට් කින්සන් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය.

මූලාශ්‍රය – sri lanka cricket.lk

Post Comment