මහියංගනය-බදුල්ල මාර්ගයේ මහියංගනය ජාතික පාසැල ඉදිරියේදි අද(17) අළුයම 1.30 ට පමණ වෑන්රථයක් හා පුද්ගලික බස්රථයක් ගැටී සිදුවූ අනතුරින් වෑන්රථයේ ගමන් කළ එකම පවුලේ 10 දෙනෙක් මියගොස් ඇතැයි මහියංගනය පොලීසිය පවසයි.
මරණයට පත්ව ඇත්තේ මඩකලපුව පනිච්චි අඩි ප්‍රදේශයේ පදිංචිව සිටි ජෝශප් රෙලින්ටන් ජෝජස් (56) සහ ඔහුගේ බිරිඳ වන සිල්වියා ජෝප්ස් (50) ඔවුන්ගේ බෑනාවරු දෙදෙනෙක්, දියණියන් දෙදෙනෙක් , මිනිබිරියන් තිදෙනෙක් හා මුනුබුරෙකි.
මඩකලපුව ඩව්බාර් පදිංචිව සිටි ලිස්ටර් ඇලෙක්සැන්ඩර් (32) ඔහුගේ බිරිඳ වන නිසාලින් ඇලෙක්සැන්ඩර් (27) සහ නිවුන් දියණියන් වන හනාලි (4) සහ පයිගා (4) ,රත්නම් පාර මඩලපුව පදිංචි යුටි ප්‍රින්ස් හෙන්ඩ්‍රික් (48) ඔහුගේ බිරිඳ වන මරියා පැන්සියා (42) , පුතා වන වෑන් රථය පැදවූ හෙයිඩ් හෙන්ඩ්‍රික් (19) හා සෙරබි හෙන්ඩ්‍රික් (10) යන අයයි.
යුනි ප්‍රින්ස් මහතාගේ පවුලේ අයගෙන් ජීවිතය බේරි ඇත්තේ වයස අවුරුදු 13 ක් වන සෙගානිගේ පමණක් වන අතර ඇය බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන රෙසානි බර්ගසාල් නැමති 16 හැවිරිදි අනෙක් දැරිය ජාඇල පදිංචිකාරියකි. ඇය මෙම මේ අය සමඟ මඩකලපුවෙ යාමට පැමිණි ඥාති දියණියකගේ දියණියකි.
ඉකුත් සඳුදා මඩකලපුවෙන් පිටත්ව ජාඇල, පින්නවල ඇතුලු ස්ථාන කිපයක සංචාරය කර නැවත මඩකලපුවට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
ත්‍රීකුණාමලය සිට දියතලාව දක්වා ධාවන වෙමින් තිබූ පුද්ගලික බස්රථයෙ මුහුණට මුහුණ ගැටුණ වෑන්රථය බස්රථයේ මීටර් 1 යි සෙ.මි. 80 ක් පමණ ඇතුළට කාවැදී තිබූ බවද පොලීසිය පවසයි.
වෑන්රථයේ 12 දෙනෙක් ගමන්කර ඇති අතර ඔවුන්ගෙන් ජීවතුන් අතර ඇත්තේ වයස අවුරුදු 13 ක් සහ 16 ක වන ගැහැණු දරුවන් දෙදෙනෙක් පමණි.
බස්රථය ත්‍රීකුණාමලසේ සිට එන අතර තුර අළුයම 1.30 ට පමන අනතුර සිදුවු ස්ථානයට නුදුරු හෝටලයක් ළඟ නතර කර මගීන් තේ පානය කිරිමෙන් පසු යළි ගමන් අරඹනවාත් සමඟම වැරැදි මංතිරුව ඔස්සේ වේගයෙන් පැමිණ වෑන් රථය බසයේ ගැටී ඇති බව විමර්ශනවලදි අනාවරණය වී තිබේ.
වෑන්රථයේ රියදුරා නින්ද ගොස් මාර්ගයේ වැරැදි මංතිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය අනුමාන කරයි. අනතුරක් වළක්වා නොගැනිමේ චෝදනාව යටතේ බස් රථයේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

