එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ..

එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ..
Spread the love

“එක්සත් ජාතික පක්ෂය තුළ ඉදිරි පෙළ, පසු පෙළ කියලා වෙනසක් නැහැ. සියල්ලන්ම එකම පක්ෂයක්. එක්කෙනෙක් දෙන්නෙක් පීලි පැනලා කතා කළාට ඒක පක්ෂයේ ස්ථාවරය නෙමෙයි. එ.ජා.ප.යෙනුත් වැරදි සිදුවෙලා තිබෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් නොමග යවන ප්‍රකාශ කරලා, පක්ෂය නැති කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ සියලු දේ නිවැරදි කරගෙන,  ජනතාව තුල විශ්වාසයක් ඇතිකරන්න පුළුවන් ගමනක් අපි ආරම්භ කරනවා” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පසුගියදා මරදාන බුහාරි තයිකා මුස්ලිම් පල්ලියේ 234 වන සාංවත්සරිකය සහ දානමය අවස්ථාවකට සහභාගි වෙමිනි. මෙම අවස්ථාවට අතිඋතුම් As Shaik Afzalul Thaika Nasir Alim උලමාතුමාද සහභාගි විය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා ..,

“අද අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අත්වැල් බැදගෙන සිටින්නේ. ඒ අනන්‍යතාවය සනාථ කරන්න තමයි, අද අපි මේ මුස්ලිම් පල්ලියට පැමිණියේ. එක රටක්, එක නීතියක්, එක ව්‍යවස්ථාවක් තුළීන් අපි ඉදිරියට යන්න ඕන. ශ්‍රී ලාංකික යන පදනමෙන් ගියොත් අපි කාටවත් වරදින්නේ නැහැ.

නොයෙක් පුද්ගලයන් කිසිම ස්ථාවරයක් නොමැතිව. ජනාධිපති අපේක්ෂකත්වය පිළිබද විවිධ අදහස් සහ නාමයන් ඉදිරිපත් කරනවා. නමුත් මම වගකීමෙන් කියන්නේ, තවමත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂයා පිළබදව තීරණයක් අරගෙන නැහැ. රටට ඔබින, ජාතික මට්ටමෙන් නායකත්වයක් දෙන්න පුළුවන් දේශපාලන පරිණතයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන්නේ. එහෙම නැතිව, තමන්ගේ ප්‍රදේශයේවත් ජයග්‍රහණයක් හිමිකරගන්න බැරි පුද්ගලයෙක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂකයා වන්නේ. විශේෂයෙන්ම ඒ පුද්ගලයා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු යන සැම පාර්ශවයක්ම ආරක්ෂා කරන්න, ජීවත් කරවන්න හැකියාවක් තිබෙන අන්තවාදි නොවන පුද්ගලයෙක් වියයුතුයි “යැයි පැවසීය.