එන්න ලංකාවට ආයෝජනය කරන්න – ජනපති මෛත්‍රිගෙන් මැලේසියානු ආයෝජකයන්ට ආරාධනයක්

Spread the love

ශ‍්‍රී ලංකාවේ ආයෝජන සහ වාණිජ කටයුතු පුළුල් කිරීමේ හැකියාව සොයා බලන ලෙස ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මැලේසියානු ආයෝජකයින්ට ආරාධනා කළේය.

මැලේසියාවේ සුප‍්‍රකට පෙට්‍රෝලියම් සමාගමක් වන PETRONAS සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී Datuk Wan Zulkiflee Wan Ariffin මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද(27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ හමුවූ අවස්ථාවේදී ජනාධිපතිතුමා මෙම ආරාධනය සිදුකළේය.

තම සමාගම විසින් ශ‍්‍රී ලංකාවට ගෑස් සහ පෙට්‍රෝලියම් නිෂ්පාදන සපයා ඇති නමුත් ශ‍්‍රී ලංකාව සමග දීර්ඝකාලීන ව්‍යාපෘතියකට සම්බන්ධ වී නොමැති බැවින් ශ‍්‍රී ලංකාව සමග දීර්ඝ කාලීන සබඳතා ඇතිකර ගැනීමේ හැකියාව සොයා බැලීමේ අරමුණින් මෙරට සංචාරයක නිරත වීමට පැමිණි බව මෙහිදී Datuk Wan Zulkiflee Wan Ariffin මහතා කියා සිටියේය.

ලොව සුප‍්‍රකට සමාගම් ලේඛනයක් වන Fortune 500 ලැයිස්තුවට ඇතුළත් එකම මැලේසියානු සමාගම වන PETRONAS සමාගම දැනට ලෝකයේ රටවල් 30 ක නව ව්‍යාපෘතීන්වලට සම්බන්ධ වී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන ස්ථාවරත්වය සහ සාමකාමී පරිසරය විදේශ ආයෝජන සඳහා සුදුසු වාතාවරණයක් බැවින්, PETRONAS වැනි ලොව පිළිගත් සමාගමක් මෙරටේ ආයෝජනයක් සිදුකරන්නේ නම්, එය දෙරට අතර වාණිජ සබඳතා වලට මහත් රුකුලක් වනු ඇතැයි ද ජනාධිපතිතුමා තම විශ්වාසය පළ කළේය.

ජනාධිපතිතුමා හමුවීමට තමන් ඇතුළු නියෝජිත පිරිසට අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තුතිය පළ කළ Datuk Wan Zulkiflee Wan Ariffin මහතා, තම සංචාරය අතරතුරදී මෙරට ඛනිජ තෙල් සහ බලශක්ති අමාත්‍යවරුන් ද හමුවී ව්‍යාපාරික සබඳතා පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

මේ අවස්ථාවට ශ‍්‍රී ලංකාවේ මැලේසියානු මහකොමසාරිස් Wan Zaidi Wan Abdullah මහතා ද එක්ව සිටියේය.

[rns_reactions]