ඒක මේ සමථ මණ්ඩලයට යන්න තිබ්බ නඩුවක් – ගුරුවරිය දණ ගැස්සවූ සරත් කියයි

Spread the love

මම වරදක් කළා තමයි; නමුත් ඒක සමථ මණ්ඩලයෙන් විසඳගන්න තිබුණු නඩුවක්. නමුත් මාව පොලිස් අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා; ඊට පස්සේ මහාධිකරණයට දාලා; මාව වැරදි කාරයෙක් කරලා; මට දඩ ගැහුවා. ඒ නිසා මම මට ඡන්දෙ දුන්න ජනතාවට ආචාර කරලා බොහොම ගෞරවනීය විදිහට පළාත් සභා මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණා.

ආනමඩුව නව ශ්‍රීලනිප සංවිධායක ආනන්ද සරත් කුමාර මහතා මේ බව ප්‍රකාශ කළේ ඔහු පිළිගැනීම සඳහා සංවිධානය කර තිබූ රැස්වීමකට සහභාගීවෙමිනි.

පාසල් විනය සම්බන්ධ පියවරක් ලෙස තම දියණියගේ කොට ගවුමේ වටිය ලෙහා දැමීමට කටයුතු කළ  ආනමඩුව නවෝද්‍යා විද්‍යාලයේ සුසිලා ගමගේ නම් ගුරුවරියක පාසල් වේලාව තුළ ප්‍රසිද්ධියේ දණගස්වා තැබීම හේතුවෙන් පුත්තලම මහාධිකරණයෙන් වරදකරු බවට පත් ඒ මහතා මෙසේද කීය.

මේ සංවිධායක තනතුර භාර අරගෙන මම සති දෙකක් බලාගෙන හිටියා. ඕන කෙනෙකුට මඩ ගහන්න ඉඩ දීලා. නමුත් මේ අය තවත් මට එළව එළවා පහරදෙනවා. මගෙන් යම් වැරද්දක් වුණා; මම දඬුවම් වින්දා දැන් ඒක ඉවරයි. නමුත් ඊට පස්සේ ඒ ගුරුවරිය කියලා නෑ අඩුම තරමින් මං රවලා බැලුවවත් කියලා. මම ආනමඩුව සංවිධායක ධූරය ඉල්ලලා සිටියේ බණ්ඩාරනායක මැතිණියගේ කාලෙ ඉදලා. නමුත් මම අදටත් පණ ව‍ගේ ආදරය කරන මහින්ද රාජපක්ෂ මහත්තයවත් මට මේක දුන්නේ නෑ. නමුත් පහුගිය මැතිවරණෙදි මහින්ද මහත්තයාගේ වේදිකා වල මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට මම බැණපු විදිහට මම කවදාවත් හිතුවේ නෑ එතුමා මට මේ සංවිධායක කම දෙයි කියලා.

නමුත් මෙම පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ජෝශප් ස්ටාලින් මහතා පවසන්නේ දරුවෙකු සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගැනීම හේතුවෙන් පාසල් වේලාව තුළ සිසු දරුවන් ඉදිරියේ ගුරුවරියක දණ ගැස්වූ පුද්ගලයෙකු මේ රටේ උත්තරීත්තර ආයතනයට යැවීමට කටයුතු සැලසීම සමස්ත ගුරු සංහතියටත්, අධ්‍යාපන ක්‍ෂේත්‍රයටත්, රටේ මූලික සදාචාර ධර්ම වලටත් ඉඳුරාම පටහැනි බවය.

එමෙන්ම මෙම නොමනා පත්වීම සම්බන්ධයෙන් ඉදිරි කාලයේ දී මෙරට ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු සමස්ත අධ්‍යාපන ක්‍ෂේත්‍රයම පෙළගස්වන බවට ඔහු පැවසීය.

මෙම පිළිගැනීමේ උත්සවය සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, හිටපු කැබිනට් අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු සහ නියෝජ්‍ය අමාත්‍ය වික්ටර් ඇන්තනී යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.