‘ඕයි, තමුසේ’ කියා සජිත්ගෙට කිලීගෙන් බැණුම් වැස්සක්!

‘ඕයි, තමුසේ’ කියා සජිත්ගෙට කිලීගෙන් බැණුම් වැස්සක්!
Spread the love

එක්සත් ජාතික පක්ෂයෙහි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා පක්ෂයේ ජ්‍යේෂ්ඨයින් විසින් ඊයේ (24) සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරිපත් කර ඇති කොන්දේසි ඇසූ සැණින් සිරස මාධ්‍ය ජාලයේ හිමිකරු වන කිලී මහාරාජා මහතා දැඩි කෝපයට පත්ව ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රී 10.00 පමණ වනවිට සියලුම ප්‍රධාන මාධ්‍ය ආයතන සජිත්ට අපේක්ෂකත්වය ලැබුණු බවට අර්ධ සත්‍යයෙන් යුත් පුවතක් විකාශය කළ නමුත් සජිත් වෙනුවෙන් සිය ප්‍රධාන පුවත් විකාශයෙන් අඩක් වෙන් කරන සිරස මාධ්‍ය ආයතනය ඒ ගැන කිසිවක් වාර්තා කර නොතිබුණේ ද කිලී මහාරාජාගේ මෙම කේන්තිය නිසා බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

සජිත් පාර්ශ්වය වෙත දුරකථන ඇමතුම් ගණනාවක් ලබාදෙමින් කිලී මහාරාජා උපදෙස් දී ඇත්තේ කිසිදු කොන්දේසියකට කිසිම විටක එකඟ වන්නට සජිත්ට ඉඩ නොතබන ලෙසය. විශේෂයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම, පක්ෂ නායකකම තබා පක්ෂ සාමාජිකත්වයවත් ඉතිරි නොවිය යුතු බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. ඉන් මෙපිට කිසිදු කොන්දේසියකට එකඟ නොවන ලෙස ඔහු ඉතාම තරයේ බලපෑම් කර ඇති බව සඳහන්.

මේ අතර කිලී මහාරාජාගෙන් තම පුත්‍රයාට වන හිරිහැර පිළිබඳව සජිත් ප්‍රේමදාස මහතාගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස මහත්මිය පසුවන්නේ ද දැඩි කණස්සල්ලෙන් බව ආරංචිමාර්ග සඳහන් කළේය.

සජිත්ගේ තීරණවලට වැඩියෙන්ම බලපෑම් කළ හැක්කේ මවට වන බව දන්නා නිසා විවිධ පාර්ශ්ව මේ වනවිට ඇයට බලපෑම් කරමින් සිටිති. ඇය මහත් කම්පාවෙන් යුතුව පසුගිය දිනක ප්‍රකාශ කර ඇත්තේ කිලී මහාරාජා තම පුතුගේ අනාගතය විනාශ කරමින් සිටින බවයි.

සජිත්ට පක්ෂ නායකයා සහ රාජ්‍ය නායකයා වීමේ සිහිනයක් සැමදා තිබුණු නමුත් මේ මෑතක් වනතුරුම ඔහුට ඒ ගැන හදිසියක් නොතිබුණු බව සිහිපත් කර ඇති හේමා ප්‍රේමදාස මහත්මිය ප්‍රශ්න ගණනාවක් පටළවමින් සජිත්ට මේ හදිසිය ඇති කළේ කිලී මහාරාජා විසින් බව ද ප්‍රකාශ කර තිබේ.

කිලී මහාරාජා තම පුතුව ඔහුව හමුවීමට කැඳවා පැය ගණන් රස්තියාදු කරන බවත් “ඕයි” “තමුසේ” වැනි වචන පවා භාවිතා කරමින් අමතන බවත් ඇය පවසා ඇත්තේ කම්පා වෙමිනි.

කෙසේවෙතත් මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා වටා රොක්ව සිටින පුද්ගලයින් සහ නිර්මාණය වී ඇති තත්වය විග්‍රහ කරමින් එජාපයේ ජ්‍යේෂ්ඨතම අමාත්‍යවරයකු අප වෙත පැවසුවේ “ඉස්සර නම් සජිත්ට හිටියේ එක කිලී මහාරාජායි, දැන් කිලී මහාරාජලා ගොඩයි” යනුවෙනි.